WSO2 සමාගමේ ඉදිරි ගමන ශක්තිමත් කරන විධායක මට්ටමේ උසස්වීම් 3 ක් පිරිනමයි

ඩිජිටල් පරිවර්තන තාක්ෂණයේ ප්‍රමුඛයා වන WSO2 සමාගම, සිය ඉදිරි ගමන තවදුරත් ශක්තිමත් කිරීමේ අරමුණින් විධායක මට්ටමේ උසස්වීම් 3 ක් සිදුකිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, මීට පෙර උප සභාපති (පර්යේෂණ) ලෙස කටයුතු කළ ආචාර්ය ශ්‍රීනාත් පෙරේරා මහතා ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ප්‍රධාන නිර්මාණ ශිල්පී ලෙස පත්කර ඇති අතර, මීට පෙර ජ්‍යෙෂ්ට අධ්‍යක්ෂ (Platform Architecture) ලෙස කටයුතු කළ ආචාර්ය මලිත් ජයසිංහ උප සභාපති (පර්යේෂණ හා කෘත්‍රිම බුද්ධිය) ලෙස පත්කර ඇත. මීට පෙර ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (අලෙවි සේවා) සහ වැඩබලන ආයතනික අලෙවි ප්‍රධානී ලෙස කටයුතු කළ රධික් කොළඹගේ හතා උප සභාපති (ආයතනික අලෙවි) ලෙස පත්කර තිබේ.

ලොව පුරා දැවැන්ත සමාගම්, ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල, සහ රජයන් ඇතුළු බොහෝ සේවාදායකයෝ තම ඩිජිටල් පරිවර්තන උත්සාහයන් සඳහා WSO2 හි විවෘත හා ‘cloud native’ විසඳුම් භාවිතා කරති. මෙම සේවාවන් හරහා වසරකට ගනුදෙනු ට්‍රිලියන 18 කට වඩා සිදු වේ. තම ඩිජිටල් සේවා හා යෙදුම් සඳහා මෙම සේවාදායකයෝ WSO2 හි API management, Integration, Customer Identity සහ Access Management(CIAM), භාවිතා කරති.

“සමාගම් හා ආයතන වල ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට අත්වැලක් වීම සඳහා අපගේ නවතම cloud native විසඳුම් වලට අවශ්‍ය සහයෝගය ලබාදීමට අපගේ ජාත්‍යන්තර කණ්ඩායම වේගයෙන් පුළුල් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. ඒත් සමගම,අප මෙතෙක් අත්පත් කරගත් සාර්ථකත්වයට විශාල දායකත්වයක් ලබාදුන් අපගේ වර්තමාන සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක්කරමින් ඉදිරියට යාමට  අපට අවශ්‍යයි. ශ්‍රීනාත්, මලික් සහ රධික් යන තිදෙනා සතු නවෝත්පාදන දැක්ම, නායකත්වය සහ වෙළඳපොළ අවශ්‍යතා පිළිබඳ ගැඹුරු අවබෝධය මෙන්ම, අපගේ ගමනේ ඉදිරි පියවරේදී ඔවුන් ඉටුකරනු ඇති ක්‍රමෝපායික භූමිකාවන් සැලකිල්ලට ගනිමින් මෙම උසස්වීම් සිදුකිරීමට අප කටයුතු කළා.” යනුවෙන් WSO2 නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සංජීව වීරවර්ණ මහතා පවසා තිබේ.


Visits: 152