‘මෙන්ඩිස්’ සඳහා යළි අවස්ථාව දුන්නේ නොගෙවූ බදු අය කරගැනීමේ එකඟතාවයෙන්ලු?

සුරාබදු ගෙවීම් පැහැරහැරීම හේතුවෙන් නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබූ ‘ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම’ වෙත සුරාබදු දෙපාර්තමේන්තුව විසින් යළිත් එම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරිමට ඉඩ දුන්නේ එම නොගෙවූ බදු ආපසු ගෙවීමේ එකඟතාවයකින් බව මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව යළිත් සමාගමේ මත්පැන් නිෂ්පාදන කටයුතු ආරම්භ කර, රුපියල් බිලියනයක් පමණ වන අදාළ නොපියවූ බදු සියල්ල ගෙවා දමන බවට එම සමාගම සුරාබදු දෙපාර්තමේන්තුව සමග එකඟතාවකට පැමිණ ඇතැයි මේ පිළිබඳව අද පළ වූ සන්ඩේ ටයිම්ස් සහ සන්ඩේ මෝර්නිං යන පුවත්පත්වල සඳහන්ව තිබේ..

එම වාර්තා සඳහන් කරන ආකාරයට සමාගමේ හිමිකරු, සුප්‍රසිද්ධ මහබැංකු බැදුම්කර වංචාවේ ප්‍රධානම සැකකරුවෙකු වන අර්ජුන් ඇලෝසියය් විසින්, මෙම පැහැර හැරි මෙම බදු මුදල් කොටස් වශයෙන් ගෙවන බවට අදාළ එකඟතාව ලබා දී තිබේ. ඒ අනුව සෑම දින 15කට වරක්ම මෙම පැහැර හැරි බදු කොටස් වශයෙන් ගෙවිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

එහි ජ්‍යෙෂ්ට නිලධාරියෙකු සන්ඩේ ටයිම්ස් පුවත්පත සමගින් පවසා ඇති ආකාරයට බදු නොගෙවීම හේතුවෙන් දෙපාර්තමේන්තුව විසින් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අහෝසි කර එහි නිෂ්පාදන කටයුතු අත්හිටුවීමෙන් අනතුරුව සිය මෙහෙයුම් ආරම්භ කිරිම සඳහා අවසරය ලබා දෙන ලෙස අදාළ සමාගම අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් සිදු කර තිබේ.

“සමාගම මෙතැනදී පෙන්වලා තිබෙනවා සමාගමට ආදායම් පැමිණෙන මාර්ග සියල්ලම අවුරා තිබෙද්දී තමන්ට බදු ගෙවන්න බැහැ කියලා. ඒ නිසා තමයි මෙවැනි එකඟතාවකට පැමිණ තිබෙන්නේ. දෙපාර්තමේන්තුව වෙත අයවිය යුතු මෙම බදු මුදල් නිසි ලෙස ගෙවීමේ කොන්දේසිය මත තමයි ඔවුන්ට යළිත් මත්පැන් නිෂ්පාදනයට අවසරය හිමි වෙන්නේ.” අදාළ නිලධාරියා සඳහන් කර ඇත.

මෙන්ඩිස් සමාගම වෙත මෙලෙස බදු ගෙවිම පැහැර හැරිම නිසා සිය මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අහිමි වී යන්නේ 2018 වසරේදීය. 2017 දෙසැම්බර් මාසය දක්වා සමාගම මගින් ගෙවිය යුතු වූ රුපියල් මිලියන 580ක් පමණ වන බදු සහ එතෙක් ගෙවීමට තිබු රුපියල් මිලියන 720ක බදු නොගෙවීම ඊට හේතුව විය. ඒ අනුව මෙම බලපත්‍රය ආපසු ලබා දිමට පෙරාතුව එම බදු මුදලින් කොටසක් ගෙවා දැමීමටත් එකඟතාව පැමිණ තිබෙන බව වාර්තා පවසයි.

මෙහිදී සුරාබදු දෙපාර්තමේන්තුව මෙන්ඩිස් සමාගම සම්බන්ධයෙන් නිරන්තරව දැඩි විමසිල්ලෙන් පසුවන බවත් අදාළ ගෙවීම් නිසි පරිදි සිදු වන්නේද යන්න අවධානය යොමු කරන බවත් ඔහු පවසා ඇත. ඒ අනුව මෙම නොගෙවූ බදු ආපසු අයකර ගැනීම සඳහා හොඳම ක්‍රමය මෙම එකඟතාවය වූ බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සන්ඩේ මෝර්නිංන් පුවත්පත වෙත පවසා තිබේ.

කෙසේ වෙතත් මෙලෙස මතභේදයට ලක්ව ඇති මෙන්ඩිස් සමාගම වෙත ආපසු මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ලබා දීම පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඒ මහතා, “රජය වෙත අති විශාල මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතු තවත් මත්පැන් නිෂ්පාදන සමාගම් තියෙනවා. ඒත්කවුරුත් ඔවුන් ගැන කතා කරන්නේ නෑ. මෙතැනදී රජයට උපරිම ප්‍රතිලාභ ලැබෙන විදියට උපායමාර්ගිකව තමයි කටයුතු කරලා තිබෙන්නේ. ඒක තමයි ලංකාවේ පැරණිතම මත්පැන් නිෂ්පාදන සමාගමක් වන මෙන්ඩිස් සමාගම සමගින් මෙවැනි එකඟතාවකට ආවේ.” යනුවෙන් පවසා තිබේ.   

මේ අතර, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් පසුගිය වසරේදී සිදු කළ අනාවරණයකට අනුව පැවැති යහපාලන රජය යටතේ මෙම ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම වෙත රුපියල් බිලියන 6කට අධික බදු සහනයක් හිමිව තිබී ඇතැයිද සන්ඩේ ටයිම්ස් පුවත්පත ගෙන ආ වාර්තාවේ සඳහන් වෙයි..

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසන ආකාරයට පැවැති එම යහපාලන රජය සමයේදී මෙන්ඩිස් සමාගම මගින් රුපියල් බිලියන 2.63ක් වටිනා සාංගමික ආදායම් බදු ගෙවීම් මෙන්ම රුපියල් බිලියන 3.55 ක වැට් බදුද ගෙවීම පැහැර හැර ඇතැයි අනාවරණය වී ඇත. ඒ අනුව මෙම බදු අය කරගැනීම සම්බන්ධයෙන්ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම දෙපාර්තමේන්තුව පවසා තිබේ.

මේ අතර සමාගම මගින් දැනටමත් මහජන බැංකුව වෙත නොපියවූ රුපියල් බිලියන 5ක ණය මුදලක්ද, ලංකා බැංකුව වෙත නොපියවූ රුපියල් බිලියන 4ක ණය මුදලක්ද පවතින බවත් අනාවරණය වී ඇත. එසේම පීපල්ස් ලීසිං සමාගම වෙතත් තවත් රුපියල් මිලියන 800ක ණයක් එම සමාගම විසින් ගෙවීමට තිබෙන බවත් සඳහන් වෙයි.  

මීට අමතරව සමාගම විසින් සිය සේවා සම්පාදකයන් වෙතද තවත් රුපියල් බිලියන 2කට අධික මුදලක් ගෙවීමට ඇතැයිද අනාවරණය කර ගෙන තිබෙන බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් පවසයි.

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ වත්මන් හිමිකරුවා වන අර්ජුන් ඇලෝසියස් 2011 වසරේදී සිය පර්පර්චුවල් ට්‍රෙෂරීස් සමාගම හරහා එහි වැඩි කොටස් ප්‍රමාණයක බලය අත්පත් කරගැනීමට සමත් විය. එම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 1ක් වන බව පැවසෙයි. ඊට පෙර එහි හිමිකාරිත්වය පැවතියේ ඔහුගේ පියා වන ජෙෆ්රි ඇලෝසියස් මහතා වෙයි.

කෙසේ වෙතත් 2015 වසරේදී සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහුගේ මෙම පර්පර්චුවල් ට්‍රෙෂරීස් සමාගමට චෝදනා එල්ල වන අතර, ඊට අයත් සියලුම බැංකු ගිණුම් ඇතුළු වත්කම් අත්හිටුවීමත් සිදු විය. මෙම වංචාව සිදුවන අවස්ථාවේදී මහ බැංකුවෙහි අධිපතිවරයාව සිටියේ ඔහුගේ මාමණ්ඩිය වන අර්ජුන් මහේන්ද්‍රන්ය. මේ අතර ඇලෝසියස්ගේ පර්පර්චුවල් ට්‍රෙෂරීස් සමාගම වෙත ප්‍රාථමික ගැණුම්කරුවෙකු ලෙස ක්‍රියාකාරීම සඳහා මහ බැංකුව විසින් ලබා දී තිබූ බලපත්‍රයද තවදුරටත් අහෝසි කර තිබේ.

අදාළ චෝදනා යටතේ 2018 පෙබරවාරි මාසයේදී අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට පත්වන අතර, පසුව වෙනත් පාර්ශ්වයක් වෙත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ කළමනාකාරිත්වය පැවරීමක්ද සිදුවිය. කෙසේ වෙතත් 2019 ජනවාරි මාසයේදී අර්ජුන් ඇලෝසියස් මහතා වෙත ඇප හිමි වන අතර, ඒ අනුව ඔහු යළිත් සමාගමේ හිමිකාරීත්වය භාරගෙන ඇතැයි පැවසෙයි.

Visits: 149