බිල්පත් ගෙවීම සඳහා කොම්බෑන්ක් Q+ ගෙවීම් ඇප් සේවාවට එයාර්ටෙල් සහ හච් ඇතුළත් කරයි

ඩයලොග් සහ මොබිටෙල් පෙර-ගෙවුම් සහ පසු-ගෙවුම් පහසුකම් දැනටමත් ඇතුළත් කර තිබෙන කොමර්ෂල් බැංකුවේ කොම්බෑන්ක් Q+ ගෙවීම් ඇප් සේවාවේ ‘In-App Bill Payments’ අංගය සඳහා බැංකුව විසින් අළුතෙන් එයාර්ටෙල් සහ හච් යන දුරකතන සමාගම් දෙකද ඇතුළත් කර ඇතැයි පවසයි.

මේ අනුව, ජාතික ක්ෂණික ප‍්‍රතිචාර (QR) කේත පද්ධතිය වන LANKAQR යටතේ එළිදැක්වූ පළමු QR කේත පදනම් කරගත් ඇප් සේවාව වන කොම්බෑන්ක් Q+ ගෙවීම් ඇප් සේවාවට එයාර්ටෙල් සහ හච් එකතුවීමත් සමග ශ‍්‍රී ලංකාවේ සියළුම ජංගම දුරකතන ග‍්‍රාහකයින්ට මෙම ඇප් සේවාව මගින් දුරකතන බිල්පත් ගෙවීමට, රීලෝඞ් කිරීමට අවස්ථාව හිමිවේ. 

තමන්ගේ දුරකතනයෙන් මෙම ඇප් සේවාව මගින් ගෙවීම් කිරීමට මුලින්ම කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන් කොම්බෑන්ක් Q+ ගෙවීම් ඇප් පහසුකම App Store හෝ Google Play Store වෙතින් ඩවුන්ලෝඞ් කරගත යුතුය. ඉන්පසුව, අවශ්‍ය තොරතුරු (භාවිතා කරන්නාගේ හඳුනාගැනීම සහ ඊ-මේල්) ඇතුළත් කර ලියාපදිංචි වෙමින් Q+ ගිණුමක් නිර්මාණය කරගත යුතුවේ.

මෙහිදී, මූල්‍ය ගෙවීම් කිරීමට ගනුදෙනුකරුවන් තමන්ගේ කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට්, ඩෙබිට් හෝ පෙරගෙවුම් කාඞ්පත් මෙයට ඇතුළත් කළ යුතුවේ. ඉන්පසුව, එය භාවිතා කරන්නන්ට ගෙවීම් කිරීමට හැකිවේ. මෙම ගෙවීම් ඇප් පහසුකම තුළින් මේ වනවිට අංශ 08 ක ගෙවීම් සිදුකළ හැකි අතර ඬේටා රීලෝඞ්, පෙර-ගෙවුම් සහ පසු-ගෙවුම් ජංගම දුරකතන, ස්ථාවර දුරකතන, වෙනත් බිල්පත්, ජල සහ විදුලි බිල්පත් (විදුලි බල මණ්ඩලයේ සහ LECO), ගාස්තු ගෙවන රූපවාහිනී බිල්පත්, ක්‍රෙඩිට් කාඞ්පත් ණය සහ පෙර-ගෙවුම් කාඞ්පත් ගාස්තු ගෙවීම් මෙයට ඇතුළත් වේ. අධ්‍යාපන ආයතන සහ රක්ෂණ සමාගම්ද මෙයට ඇතුළත් කරමින් මෙම පහසුකම තවදුරටත් ඉදිරියේදී වැඩිදියුණු කරන බව බැංකුව සඳහන් කරයි.  

Visits: 54