නෝර්වේහි 99x ටෙක්නොලොජි සමාගමෙන් කළුබෝවිල සහ වතුපිටිවල රෝහලට මිලියන 4.5ක වෛද්‍ය උපකරණ

නෝර්වේහි 99x ටෙක්නොලොජි ආයතනයේ සභාපති ඩැග් හොනින්ග්ස්වාග් මහතා විසින් කළුබෝවිල හා වතුපිටිවල රෝහල් සදහා රුපියල් මිලියන 4.5ක් වටිනා රෝහල් උපකරණ ප්‍රදානය කිරීමක් සිදු කර ඇතැයි ඔස්ලෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

නොර්වේජියානු ශ්‍රී ලංකා  තානාපති ගොඩ්ප්‍රි කුරේ මහතා, අමාත්‍ය උපදේශක නිලන්තිනි අරුල්පිරගාසම් මහත්මිය එක්ව ඩැග් හොනින්ග්සාව්ග් මහතා සමග සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵල ලෙස මෙම ප්‍රදානය මෙරටට හිමි කරගැනීමට හැකියාව ලැබී තිබෙන බව සඳහන් වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණ දී ඇති කොවිඩ්-19 අර්බුදයට ප්‍රතිචාර දැක්වීම පිණිස මෙම රෝහල් දෙකටම නෝර්වීජියානු ක්‍රෝනර් 190,000කට අධික වටිනාකමකින් යුත් උපකරණ ලබා දීමක් සිදුව තිබේ..

එහිදී කළුබෝවිල රෝහලේ අධි සත්කාර ඒකකය (HDU) වෙත‍්, නෝර්වීජියානු ක්‍රෝනර් 24,500ක් වටිනා වරින් වර ක්‍රියාකරන වායුමය සම්පීඩක උපාංග ඒකක 2ක් සහ නෝර්වීජියානු ක්‍රෝනර් 21,750ක් වටිනා එහා මෙහා ගෙන යා හැකි චූෂණ උපකරණවලින් ඒකක 3 ලෙස නෝර්වීජියානු ක්‍රෝනර් 46,250 ක් වටිනා වෛද්‍ය උපකරණ ලබාදී තිබේ.

එසේම වතුපිටිවල මූලික රෝහල: නෝර්වීජියානු ක්‍රෝනර් 145,500 ක වියදමින් පීසීආර් පරීක්ෂණ විද්‍යාගාරයක් පිහිටුවීම සඳහා බහාලුම් පදනම් කරගත් පහසුකමක් ලබා දී ඇත. මේ සඳහා, කාමර වෙන් කොට වායුසමීකරණයෙන් සම්පූර්ණ කරන ලද අඩි 40 ක බහාලුම් ඒකක දෙකක් ලබාගැනීම හා සවිකිරීම මෙයට අයත් වී තිබේ.

වර්තමාන ආසාදන රැල්ල අවම කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවෙල සාර්ථක වන ලෙසද ඔහු ප්‍රාර්ථනා කර තිබේ. එසේම 99x කණ්ඩායම ශ්‍රී ලංකාවේ සහන සේවා හඳුනා ගැනීමට සහ සහාය දීම සඳහා අඛණ්ඩව කටයුතු කරනු ඇතැයිද පැවසූ බව ඔස්ලෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

Visits: 33