NDB බැංකුවට ඇමෙරිකාවෙන් ඩො.මිලියන 75ක අරමුදල් සම්පාදනයක්

NDB බැංකුව (National Development Bank) වෙත ඇමෙරිකා එක්සත් ජනපදයේ Development Finance Corporation ආයතනය මගින් එක්සත් ජනපද ඩොලර් මිලියන 75ක දිගුකාලීන අරමුදල් සම්පාදනයක් හිමිව ඇතැයි එම බැංකුව අනාවරණය කරයි.

මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත බැංකුවෙහි සහයෝගය ලබා දීමේ සහ යටිතලපහසුකම් සඳහා මුදල් යෙදවීමේ අවස්ථාව ලබා දීමේ අරමුණින් මෙම අරමුදල් සම්පාදනය සිදු කර ඇතැයි පැවසෙයි.

මෙම Development Finance Corporation ආයතනය ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රජයට අයත් මූල්‍ය ආයතනයකි. ලොව අඩු සහ මැදි ආදායම් ලබන රටවල් තුළ පෞද්ගලික සංවර්ධන ව්‍යාපෘතින් සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසීම එහි වගකීම් අතර පවතී. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම වසංගත අවස්ථාවේදී ඇති වූ බලපෑමෙන් යථාවත්වීම සඳහා දිගුකාලී, ස්ථාවර අරමුදල් සම්පාදනයක් අවශ්‍යව සිටි මොහොතේදී මෙම අරමුදල් සම්පාදනය හිමි වූ බවද NDB බැංකුව පවසයි.

අද වනවිට ලංකාවේ සිව්වැනි විශාලතම පෞද්ගලික බැංකුව වන NDB බැංකුව, 2020 දී එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව මගින් ලංකාවේ හොඳම බැංකුව ලෙසින්ද නම් කර තිබේ. එසේම 2021 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ග්ලෝබල් ෆිනෑන්ස් මගින්ද එය හොඳම බැංකුව ලෙස නම් කර තිබේ. විශේෂයෙන්ම බැංකුව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්, කාන්තාවන් මූලික කරගත් ව්‍යවසායන් වෙත මුදල්සම්පාදනයේ ප්‍රමුඛයෙකු ලෙස හඳුනාගෙන ඇතැයි පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන Development Finance Corporation ආයතනයේ විදේශ කටයුතු අංශයේ උප සභාපති සහ ගෝලීය ස්ත්‍රී පුරුෂ සමානාත්මතා මුලපිරීම් අංශ ප්‍රධානී ඇල්ජීන් සජෙරි, “DFC ආයතනය NDB බැංකුවෙහි ආයෝජනය කිරීම ගැන ආඩම්බරයට පත් වෙනවා. එය ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වගේම කාන්තා ව්‍යවසායන්හිදීත් මුල් පෙළේ ආයෝජකයෙක්.” යනුවෙන් පවසා ඇත.

මෙම අරමුදල් සම්පාදනය පිළිබඳව අදහස් දක්වා ඇති NDB බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න මහතා, “මෙය NDB බැංකුව වෙත විදෙස් මුදල් සම්පාදනයක් හිමි වූ පළමු අවස්ථාව නෙවෙයි. ඒත් ඇමෙරිකා එක්සත් ජනපදය පාදක කරගත් සංවර්ධන මූල්‍ය ආයතනයක් මගින් එවැන්නක්හිමි වූ පළමු අවස්ථාව මෙයයි. එහි සංවර්ධන අභිලාෂයන්ද NDB බැංකුව හා සමපාතයි. විශේෂයෙන්ම වසංගතයේ තෙවැනි රැල්ල නිසා ආර්ථිකයට සිදුව ඇති බලපෑම හමුවේ මෙය හිමිවීම සුවිශේෂයි.” යනුවෙන් පවසා ඇත.

Visits: 281