රුපියල් මිලියන 245කට BreadTalk මිලට ගත්ත, කවුද මේ ශන්කර් සෝමසුන්දරම්?

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත RIL Properties PLC සමාගමෙහි පූර්ණ අනුබද්ධිත පරිපාලිත සමාගමක් ලෙස පැවැති FoodBuzz (පෞද්) සමාගම රුපියල් මිලියන 245ක වටිනාකමට මිලදී ගැනීමට SS Equity නම් පෞද්ගලික සමාගමක් පසුගියදා පියවර ගෙන තිබුණි.

කොළඹ ඇතුළු තදාසන්න නගර කිහිපයක BredTalk නමින් බේකරි නිෂ්පාදන අවහන්හල් ජාලයක් පවත්වාගෙන ගියේ මෙම FoodBuzz (පෞද්) සමාගමයි. සිංගප්පූරුවෙහි ක්‍රියාත්මක BredTalk අවන්හල් ජාලයේ මෙරට බලයලත් නියෝජිතයා ලෙස එම සමාගම ක්‍රියා කෙරිණි. ඒ අනුව මෙම අත්පත් කරගැනීමත් සමගින්ම එම වෙළෙඳනාමයේ මෙරට බලයලත් අලෙවි නියෝජිතයා බවටද  SS Equity (පෞද්) සමාගම පත්ව සිටියි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙන්ම කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සිය ව්‍යාපාර මෙහෙයුම් වෙත එල්ල වූ බලපෑම නිසා 2021 මාර්තු මාසයේ අවසන් සතියේ සිට මෙම BredTalk අවන්හල් ජාලය තාවකාලිකව වසා දැමීමට RIL Properties PLC සමාගම තීරණය කර තිබුණි. එහෙත් ඒ සඳහා ආයෝජකයෙකු හමුවූ බව පවසමින් එම තීරණය ක්‍රියාත්මක නොකිරීමටද එම සමාගම පියවර ගත්තේය.

ඒ අනුව වසා දැමීමට නියමිතව තිබූ මෙම BreadTalk අවන්හල් ජාලයේ නව ආයෝජකයා වන්නේ ඉහත සඳහන් කළ  SS Equity (පෞද්) සමාගමයි. එහි හිමිකරුවා වන්නේ ශන්කර් සෝමසුන්දරම්ය. මෙරට විශාල සමාගම් රැසකම ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙකු ලෙසද ඔහු සැලකෙයි.

අද හැරී ජයවර්ධනට අයත් ලංකා බෙල් සමාගම බිහි කළ සම නිර්මාතෘවරයෙකු වන්නේ ශන්කර් සෝමසුන්දරම් මහතාය. එසේම ඉෂාර නානායක්කාරද සමගින් LOLC සමාගම වෙත බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි මිලදී ගත් ආයෝජකයන් තිදෙනාගෙන්ද එක් අයෙකු වන්නේද ඔහුය.

අද වනවිට ඒ සියල්ලම අත්හැර දමමින් වෙනම ව්‍යාපාරික අවස්ථාවන් වෙත ඔහු යොමු වී සිටියි. ඉදිකිරීම් සහ ආයෝජන ඒ අතරින් ප්‍රධාන වෙයි. ඔහු සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ මණ්ඩල ධුර දරන අතර සොෆ්ට්ලොජික් කැපිටල් ඒ අතරින් එක් සමාගමකි.

සෝමසුන්දරම් මහතා මෙරට ප්‍රකට ව්‍යාපාරික පවුලක තෙවැනි පරම්පරාව නියෝජනය කරයි. එසේම වෘත්තියෙන් වරලත් කළමනාකරණ ගණකාධිකාරියෙකු වන ඒ මහතා රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබ පසුව එංගලන්තයේ වැඩිදුර අධ්‍යාපනය ලැබූ අයෙකි.

කලකට පෙර මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙකු බවට පත්වන සෝමසුන්දරම් මහතා තනි තනිව මෙන්ම හවුල්කරුවන් සමගින්ද මෙම ආයෝජන සඳහා ඉදිරිපත්ව තිබේ. එහිදී තමන්ගේ වැඩි කැමැත්ත ලැයිස්තුගත ප්‍රමුඛ පෙළේ විශාල සමාගම් බව ඔහු වරෙක බිස්නස් ටුඩේ සඟරාව වෙත පවසා තිබුණි.

“සැමවිටම මගේ ප්‍රමුඛතාව වෙන්නේ ආයෝජනයටයි. මම පෞද්ගලිකව වගේම හවුල්කරුවන්ද සමගිනුත් ආයෝජන සිදු කර තිබෙනවා. මම ආයෝජනයේ විශාලත්වය අනුව තමයි අවස්ථාවන් දිහා බලන්නේ. එතැනදී මම තනිවම ආයෝජනය කරනවාද, නැත්නම් මගේ පසුපස සිටින බැංකු හෝ හවුල්කරුවන් වෙත යොමුවෙනවාද කියන දේ බලනවා.”

ඒ අනුව සිය ආයෝජනයන් ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා ඉන්දියන් ඔයිල්, හැටන් නැෂනල් බැංකුව සහ ඒෂියන් හොටෙල්ස් යන සමාගම් තුළ විශාල ප්‍රමාණයෙන් පවතින බවත් ඔහු බිස්නස් ටුඩේ සඟරාව වෙත සඳහන් කර තිබේ.

ඔහුගේ මැදිහත්වීමෙන් ලංකා බෙල් සමාගම පිහිටුවෙන්නේ 1997 වසරේදීය. එක්සත් ජනපද ඩොලර් මිලියන 150කට අධික ආයෝජනයකින් පිහිටවුණු ලංකා බෙල් සමාගම, එවකට ශ්‍රී ලංකාවේ තනි විශාලතම ආයෝජන මණ්ඩල ව්‍යාපෘතිය බවටත් පත්විය. මෙම ආයෝජනයත් සමගින් එහි සම නිර්මාතෘවරයා ලෙස සමාගමේ උප සභාපතිවරයා බවටද ෂන්කර් සෝමසුන්දරම් මහතා පත්විය.

“ලංකා බෙල් සමාගමේ දේශීය හවුල්කරුවා වුණේ මම. අනෙක් සියලුම හවුල්කරුවන් විදේශිකයන්. ඒ වගේම එහි උප සභාපතිවරයාත් වුණා.” ඔහු පවසා තිබේ.

කෙසේ වෙතත් 2005 වසරේදී මෙරට සුපසිද්ධ ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා වෙත ලංකා බෙල් සමාගමේ හිමිකාරීත්වය අලෙවි කරමින් ඔහු ඉන් ඉවත්වීමට තීරණය කර තිබේ. “ලංකා බෙල් සමාගමේ එකම නිෂ්පාදනය වුණේ ටෙලිෆෝන්, ඒත් මට එකම තැනක ඉන්න වුවමනා වුණේ නෑ. මට විවිධ ආයෝජන වෙත යොමු වන්න වුවමනා වුණා. ලංකා බෙල් සමාගමෙන් ඉවත් වෙන්න එක හේතුවක් ඒක.” ඔහු පවසයි.

මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගම් සමූහයක් වන LOLC වෙත බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි සමාගම අත්පත් කරගැනීම සම්බන්ධයෙන් වන අදහසට ඔහු යොමුවන්නේ ඉන් අනතුරුවයි. “මම අවස්ථාවන් සොයමින් සිටියා. එතැනදී තමයි දැනගන්න ලැබුණේ බ්‍රවුන් සමාගම අලෙවියට දාලා තියෙනවා කියලා. අපි එතැනදී ලංසු ඉදිරිපත් කළා. අපි සාර්ථක වුණා.”

2005 වසරේදී සිදු වූ මෙම ආයෝජනය සඳහා ඔහු තනිවම නොව ඉෂාර නානායක්කාර සහ අජිත් දේවසූරිය යන සිය ආයෝජන හවුල්කරුවන් සමගින් සම්බන්ධ වී ඇත. එහිදී ඔවුන් තිදෙනා එක්ව දිරිය ඉන්වෙස්ට්මන්ට්ස් නමින් බ්‍රවුන් සමාගම යටතේ ක්‍රියාත්මක ආයෝජන සමාගමක් ස්ථාපිත කර තිබේ.

අනතුරුව ඔහු බ්‍රවුන්ස් සමූහ සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස පත් කෙරී ඇති අතර, 2006 ජූලි 01 වැනිදා සිට ඔහු එහි සමූහ අධ්‍යක්ෂවරයා ලෙස පත් කෙරී ඇත.

2012  වසර වන විට ශන්කර් ඇතුළු අනෙකුත් ආයෝජකයන් තිදෙනාට බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි සමාගමේ 100%ක හිමිකාරීත්වය අත්පත් කරගැනීමේ අවස්ථාව උදා වී ඇත. මෙය රුපියල් බිලියන 1.3ක ගනුදෙනුවක් වූ බව පැවසෙයි.

“ඉෂාර නානායක්කාර, අජිත් දේවසූරිය සහ මම තමයි බ්‍රවුන් සමූහය අත්පත් කරගත්තේ. එතැනදී අපි තුන්දෙනාට එක සමාන කොටස් හිමිකාරීත්වයක් හිමිවුණා. බ්‍රවුන් සමාගම විවිධාංගීකරණය වූ මෙහෙයුම් රැසක්ම සිදු කළ සමාගමක්. ඔවුන් කෘෂිකර්මාන්තයේ, බැටරි කර්මාන්තය සහ තවත් නිෂ්පාදන රැසකම වෙළෙඳ පොළ ප්‍රමුඛයා. ඒ වගේම බ්‍රවුන්ස් සමාගම තමයි ෂාර්ප් ඉලෙක්ට්‍රොනික සහ කාර්යාලය උපකරණ වෙළෙඳ නාමයේ මෙරට නියෝජිතයා. බ්‍රවුන්ස් ටුවර්ස් සමාගම ඔස්ට්‍රියානු සහ ස්කැන්ඩිනේවියානු ගුවන් සමාගම්වල මෙරට නියෝජිතයා.” ඔහු පවසයි.

කෙසේ වෙතත් බුවුන්ස් සමගින් වසර 10ක ආයෝජන හවුල්කාරීත්වය නිමා කරමින් 2015 වසරේ දෙසැම්බර් මාසයේදී බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වීමට ඔහු පියවර ගෙන ඇත. ඒ වනවිට ඔහු එහි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් සිට ඇත. එසේම ඔහු  එතෙක් දරමින් සිටි බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන්ද ඉවත් වී ඇත.

මෙම ඉවත්වීම සිදුවීමට මාස දෙකකට පෙර එනම් 2015 සැප්තැම්බර් 30 වැනිදා වනවිට වනවිට බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සීහි කොටස් අතරින් කොටස් මිලියන 3.14ක ප්‍රමාණයක් එනම් 4.44%ක ප්‍රතිශතයක් ඔහු සතුව තිබූ බව පැවසෙයි. එසේම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සීහි කොටස් ප්‍රතිශතයනේ 1.34%ක්ද ඔහුට හිමිව තිබූ බව පැවසෙයි.

එසේම ඔහු එක් අවස්ථාවකදී ඇසෝසියේටඩ් මෝටර් වේස් (AMW) සමාගම වෙතද සිය ආයෝජන පුළුල් කර ඇත. එහිදී ඔහු සිය S.S. Motors සමාගම හරහා AMW අයත් රිචර්ඩ් පීරිස් සමාගමේ කොටස් අතරින් 21%ක ප්‍රතිශතයක් අත්පත් කරගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 430කි.

මෙම ආයෝජනය පිළිබඳව බිස්නස් ටුඩේ සඟරාවට අදහස් දක්වා ඇති ශන්කර් සෝමසුන්දරම් මහතා, “මම හැම අවස්ථාවේදීම වෙළෙඳ පොළ කොටස් තුළ ඇති අවස්ථාවන් පිළිබඳව අවධානය යොමු කරනවා. එම අවස්ථාවේදී වඩාත් හොඳ සමාගම් බවට AMW හඳුනාගෙන තිබුණා. ඔවුන් නිසාන් වගේ විශාල ජපාන වාහන වගේම, රටේ වැඩිම ඉල්ලුමක් තියෙන මරුටි වාහනත් ලංකාවට ආනයනය කළා. මම බලාපොරොත්තු වුණා ලංකාවේ මරුටි නියෝජිතයා විදියට AMW සමාගම වේගවත් වර්ධනයක් පෙන්නාවි කියලා. ඒ වෙන කොටත් එහි කොටස් අගය ඉතාමත් අඩුවෙන් තිබුණේ. ඒ නිසා මම සමාගමේ 20%ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගත්තා.” යනුවෙන් පවසා ඇත.

ඒ අනුව ඔහු බලාපොරොත්තු වූ ආකාරයෙන්ම එතෙක් රුපියල් 100ට වඩා අඩුවෙන් පැවැති AMW කොටසක වටිනාකම රුපියල් 300ක් දක්වා ඉහළ යාම සිදුව ඇත.

“ආයෝජකයන් තුළ සමාගමේ කොටස් පිළිබඳ උනන්දුව සහ සමාගමේ ක්‍රියාකාරීත්වය කියන කාරණා නිසා කොටසක වටිනාකම් ඉහළ ගියා. මගේ බලාපොරොත්තුව අනුවම AMW දැවැන්ත වර්ධනයක් ළගා කරගත්තා. සමාගම වසරකට රුපියල් මිලියන 500 ඉදන් 600ක් දක්වා වර්ධනයක් පෙන්නුවා. මම සමාගමේ 20%ක කොටස් මිලදී ගන්න කොට කොටසක් තිබුණේ රුපියල් 70කට. තවත් ආයෝජකයෙකුට ලාභ ලබන්න අවස්ථාව දෙමින් එය 250 වුණ ගමන් මම සතුටින් මගේ කොටස් ඉවත් කරගත්තා.” ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතරතුරදීම සෝමසුන්දරම් මහතා සිය ආයෝජනය විවිධ ක්ෂේත්‍ර වෙත සිදු කර ඇත. ඒ යටතේ මාලදිවයිනෙහි කනිෆුෂිහි දූපතක පිහිටි තරු පහේ පන්තියේ බීච් රිසෝට් සහ ෆැමිලි විලා හෝටලයක් පිහිටුවා ඇත. ඔහුගේ Linkedin ගිණුමට අනුව 2012 වසරේ මැයි මාසයේ සිට මේ දක්වා වසර නවයක කාලයක් ඔහු එම ව්‍යාපාරය පවත්වාගෙන යයි. 

එසේම 2014 පෙබරවාරියේදී ඔහු බ්‍රික්ස් ඩිවලොපර්ස් නමින් දේපළ සංවර්ධන සහ ඉදිකිරීම් සමාගමක් පිහිටුවන අතර වර්තමානය වන විට එහි සභාපතිවරයා ලෙසද කටයුතු කරන බව එම Linkden ගිණුම තුළ සඳහන්ව තිබේ.

මීට අමතරව ශන්කර් මහතා තවත් හවුල්කරුවන් දෙදෙනකුද සමගින් එක්ව කොළඹ නගරය තුළ අග්‍රා නමින් උතුරු ඉන්දියානු ආහාර පානවර්ග සහිත ආපනශාලාවක්ද ආරම්භ කර පවත්වාගෙන යයි. ඒ අනුව රුපියල් මිලියන 245කට මිලදී ගත් BreadTalk අලෙවිසැල් ජාලය බොහෝ විට ඔහුගේ සභාපතිධුරය යටතේ යළිත් සිය ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කෙරෙනු ඇත. එසේත් නැත්නම් තවත් සුදුසු ගැනුම්කරුවෙකු හමු වූ විට ශන්කර් මහතා ඔහුට එය විකුණා දමනු ඇත. කාලය අනුව එය තීරණය වේවි.

Visits: 1396