චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරයට ලංකාවේ මහ බැංකුවෙන් සමරු කාසියක්?

මේ වසරට යෙදෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ සමරු කාසියක් නිකුත් කිරීමට සූදානමින් සිටින බව මාධ්‍ය වාර්තා වෙයි.

අද පළ කෙරුණු සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත අදහස් දැක්වීමක් සිදු කර ඇති මහ බැංකුවෙහි ජ්‍යෙෂ්ට නිලධාරියෙකු මේ පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ. ඒ අනුව විදෙස් රටක දේශපාලන පක්ෂයක් වෙනුවෙන් මහ බැංකුව විසින් මෙවැනි සමරු කාසියක් නිකුත් කිරීම කැපී පෙනෙන අවස්ථාවක් බවද පුවත්පත පවසයි.

විශේෂයෙන්ම මහ බැංකු ඉතිහාසය තුළ රටවල් දෙකක් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වෙනුවෙන් සමරු කාසි නිකුත් කිරීමක් මේ දක්වා සිදු කර ඇති නමුත්, විදේශීය දේශපාලන පක්ෂයක් වෙනුවෙන් සමරු කාසියක් නිකුත් කරන පළමු අවස්ථාව මෙය ලෙසත් සැලකෙයි.

මෙහිදී චීනය විසින් ශ්‍රී ලංකාව ඇතුළු සිය මිත්‍ර රටවල් කිහිපයක් වෙත මෙම සමරු කාසි ටංකනය කිරිමක් සිදු කරනු ඇති බවත් අනතුරුව නොමිලේම ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව අනෙකුත් රටවල මහ බැංකු වෙත ඒවා ලබා දෙනු ඇති බවත් පුවත්පත වැඩි දුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම නිකුත් කෙරෙන කාසිය සංසරණය සඳහා නිකුත් කරන්නක්ද? නැත්නම් සමරු කාසියක් පමණක්ද? එසේත් නැත්නම් මෙම අවස්ථාවන් දෙකම සඳහා යොදාගන්නක්ද යන්න මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නොමැති බවත් පැවසෙයි.

මේ අතර චීන මහජන බැංකුවද පසුගිය සඳුදා දිනයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය සමරමින් සමරු කාසි කාණ්ඩයක් නිකුත් කළ අතර, එහි කාසි නවයක් අන්තර්ජගත වෙයි. ඒ අනුව රත්රන් කාසි තුනක්, රිදී කාසි පහක් සහ එක් තඹ-මිශ්‍රලෝහ කාසියක්ද වන බව චීන මහජන බැංකුව සඳහන් කර ඇත.

Visits: 154