නුදුරේදීම බෙදා හැරීමේ අරමුණින් ඉරානය නෞකා තුළ බොරතෙල් රැස් කරනවාලු?

ඉරානය විසින් නිෂ්පාදනය කරන ලද බොරතෙල් බැරල් මිලියන ගණනක් පෙරට වඩා වැඩියෙන් බොරතෙල් ප්‍රවාහන නෞකා (ටෑන්කර්) තුළ ගබඩා කෙරෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව වත්මන් එක්සත් ජනපද රජයත් සමග පවතින සාකච්ඡා සුභවාදී අවස්ථාවකට පත් වුවහොත් හැකි ඉක්මණින්ම තම බොරතෙල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳ පොළට නිකුත් කිරිම සඳහා ඉරානය මෙලෙස කටයුතු කිරීමට හේතුව බව සඳහන් වෙයි.

2015 වසරේදී ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ලෝක බලවතුන් පස් දෙනෙකු එක්ව මෙම න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ එකඟතාව ඇති කරගැනුණි. එවකට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිවරයාව සිටියේ ඩිමොක්‍රැටික් පක්ෂයේ බරැක් ඔබාමාය.

එහෙත් 2016 දී රිපබ්ලිකන් පක්ෂ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් අනතුරුව එම වැඩසටහනෙන් ඉවත් වීමට පියවර ගත් අතර, ඉරානයට එරෙහිව බොරතෙල් අලෙවිය සම්බන්ධ සම්බාධකද පැනවීය. එසේම ඉරානයෙන් බොරතෙල් මිලදීගන්නා රටවලටද වෙළෙඳ බාධක පනවන බවට තර්ජනය එල්ල කෙරිණි.

කෙසේ වෙතත් යළිත් වරක් එක්සත් ජනපදය වෙත ඩිමොක්‍රැටික් පක්ෂ ජනපතිවරයෙකු පත්ව සිටින අතර, වත්මන් ජනපති ජෝ බයිඩන්ගේ මුලපිරීම යටතේ මෙම සාකච්ඡා සිදු කෙරෙමින් පවතී.

ඉරානය අද වනවිට ලොව සිව්වැනි විශාලතම බොරතෙල් සංචිතය සහිත රට ලෙසින්ද සැලකෙයි. යම් හෙයකින් එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින මෙම සාකච්ඡා සාර්ථක වී ඉරානයට එරෙහි සම්බාධක ඉවත්වුවහොත්, එරට දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 3.8ක් දක්වා ඉහළ නැංවීමට ඉරානය සැලසුම් කර තිබේ. එරට බොරතෙල් අමාත්‍යාංශයට අනුව අද වනවිට එය දිනකට බොරතෙල් බැරල් මිලියන 2.1කි.

මෙලෙස ඉරානයේ දෛනික බොරතෙල් බැරල් නිෂ්පාදනය මිලියනයකින් ඉහළ යාමත් සමගින්ම ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් සඳහා වන මිල පීඩනය අඩුවනු ඇතැයි බොහෝ විචාරකයන්ගේ අදහස වී ඇත. එහෙත් මෙම එකතුවන අමතර සැපයුම උකහා ගැනීම සදහා ගෝලීය බොරතෙල් වෙළෙඳ පොළට හැකියාව පැවතිය යුතු බව තවත් ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත.

විශේෂයෙන්ම අද වනවිට ලොව රටවල් රැසක්ම කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් අනතුරුව යළිත් සිය ආර්ථිකයන් ප්‍රකෘතිමත් කරගනිමින් සිටින බවත්, ඒ අනුව ලොව පුරා බොරතෙල් ඉල්ලුම මේවනවිට ඉහළ යමින් පවතින බවත් ඔවුන් සඳහන් කරයි.

Visits: 232