මැලිබන් සමාගමෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ පරිත්‍යාගයක්

මෙරට ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදකයා වන මැලිබන්, තම දශක 6 කට අධික මෙහෙවරෙහි තවත් ඉදිරි පියවරක් ලෙස, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළ බව පවසයි.

මේ වන විට රට තුළ වේගයෙන් පැතිර යන COVID-19 රෝගය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම උපකරණ අතිශයින් වැදගත් වනු ඇතැයි සමාගම සඳහන් කරයි.

ජාතික මට්ටමේ වැඩසටහන් වලට දායක වෙමින් මෙරට ජනතාවගේ යහපත උදාකිරීම සඳහා තමන් දරන උත්සාහය තවදුරටත් ඉදිරියට ගෙනයමින්, මේ ආකාරයට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට, මිලියන 4 ක වටිනාකමින් යුතු අතිනවීන සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට මැලිබන් සමාගම කටයුතු කර තිබේ.

COVID-19 රෝගයට එරෙහි සටනේදී සෑම රෝගියෙකුගේම ජීවිත බේරාගැනීම සඳහා දිවයිනේ අනෙකුත් රෝහල් මෙන්ම ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලද දැඩි පරිශ්‍රමයක් දරන අතර, මැලිබන් සමාගම විසින් පරිත්‍යාග කරන ලද මෙම දැඩි සත්කාර ඒකක ඇඳ, වෙන්ටිලේටර් යන්ත්‍රය සහ අනෙකුත් උපාංග එම පරිශ්‍රමය සඳහා රුකුලක් වනු නොඅනුමාන ය. මෙම මූලික පරිත්‍යාගයට අමතරව මැලිබන් සමාගම විසින් ඔක්සිජන් මුඛ ආවරණ 250 ක් සහ ‘Non-rebreather’ වර්ගයේ මුඛ ආවරණ 60 ක්ද එම රෝහල වෙත පරිත්‍යාග කරන ලදි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැලිබන් බිස්කට්ස් සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂිකා කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය “COVID-19 රෝගීන් වාර්තා වීම දිනපතාම ඉහළ යමින් පවතින මෙම අවස්ථාවේදී, වෛරසය පැතිරීම සහ එහි දරුණු ප්‍රතිවිපාක අවම කිරීම සඳහා ජාතියක් ලෙස අප සියලුම බලවේගයන් ඒකරාශී කළ යුතුයි.” යනුවෙන් පවසයි.

මෙහිදී අදහස් දක්වන මැලිබන් බිස්කට්ස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවර්ධන මහතා “මෙවැනි බාහිර ප්‍රජා සත්කාරයන්ට අමතරව, සෑම මාසයකදීම අපගේ මෙහෙයුම් කටයුතු වල සහ නිෂ්පාදනයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා, COVID-19 සම්බන්ධ ආරක්ෂක විධිවිධාන කර්මාන්තශාලා සහ කාර්යාල පරිශ්‍රයන් තුළ ක්‍රියාත්මක කිරීමට අප විශාල ආයෝජනයන් සිදුකරනවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් පිරිනමන COVID-19 සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති සහතිකකරණය හිමිකර ගත් ප්‍රථම ශ්‍රී ලාංකික ආහාර නිෂ්පාදන සමාගම බවට පත්වීමට අපට හැකියාව ලැබුණා. මැලිබන් සමාගම ආරක්ෂාව සහ ප්‍රමිතිය සඳහා එක සමාන ප්‍රමුඛත්වයක් ලබාදෙන බව මින් පැහැදිලි වනවා.” යනුවෙන් පවසා තිබේ.

Visits: 127