ලෝකයේ බලගතුම ‘පාස්පෝට්’ හිමි රටවල් දර්ශකයෙන් ලංකාව ස්ථාන දෙකක් පහළට

Henley and Partners සමීක්ෂණ ආයතනය මගින් සකස් කරන ලොව බලවත්ම ගුවන් ගමන් බලපත්‍ර (පාස්පෝට්) හිමි රටවල් දර්ශකයෙහි (Henley Passport Index) 2021 වසරේ දෙවැනි කාර්තුව සඳහා නිකුත් වූ දත්ත අනුව ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය ලොව රටවල් අතරින් 99 වැනි ස්ථානයට පත්ව ඇතැයි පවසයි.

ඒ අනුව මෙම ස්ථානය 2020 වසරේදී ශ්‍රී ලංකාව හිමි කරගෙන තිබූ 97 වැනි ස්ථානයේ සිට ස්ථාන දෙකක් පසුපසට යාමකි.

යම් රටක ගුවන් ගමන් බලපත්‍රයක් හිමි තැනැත්තෙකුට වීසා ලබා ගැනීමකින් තොරව (Visa Free), අදාළ රටට පැමිණි පසුව වීසා ලබා ගැනීමේ (Visa on arrival) අවස්ථාවකින් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයකට (Online Visa) සංචරණ අවසරයක් ලබා ගත හැකි අවස්ථාවන් පැවතීම මෙලෙස එම ගුවන් බලපත්‍රයට ඇති බලගතු බව මනින නිර්ණායකය වෙයි.

ඒ අනුව Henley Passport Index 2021 දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය වෙත එවැනි අවස්ථාවන් ලබා දී ඇති රටවල් සංඛ්‍යාව 42 කි. පසුගිය 2020 වසරේ ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය මෙම දර්ශකයේ 97 වැනි ස්ථානයේ පසු වෙද්දීද රටවල් 42කින් එම අවස්ථාව හිමිව තිබුණි.

මෙවර දර්ශකයේ ශ්‍රී ලංකාවට ඉහළින් 98 වැනි ස්ථානයේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය පිහිටා ඇති අතර, ලංකාව හා සම ස්ථානයේ ඉරානයත්, ලංකාවට එක් ස්ථානයක් පහළින් බංග්ලාදේශයත් පිහිටා තිබේ.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (International Air Trasport Association (IATA) හි දත්ත යොදා ගනිමින් මෙම දර්ශකය සකස් කරයි. එසේම Global Mobility Report 2021 හි දෙවැනි කාර්තුවේ දත්තද මේ සඳහා යොදා ගෙන තිබේ. විශේෂයෙන්ම වසංගත තත්ත්වයෙන් පසුව උදාවන ගෝලීය තත්ත්වයේදී මෙම ගුවන් ගමන් බලපත්‍ර සතු බලගතුකම මෙහිදී අවධානයට යොමු කර ඇත.

ඒ අනුව මෙම Henley Passport Index දර්ශකය තුළ එකිනෙකට වෙනස් ගුවන් ගමන් බලපත්‍ර 199ක සහ එකිනෙකට වෙනස් ගමනාන්ත 227ක් ඇතුළත්ව තිබේ.

ඒ අනුව 2021 වසරේ වඩාත් බලගතුම ගුවන් ගමන් බලපත්‍රය හිමි රට බවට යළිත් වරක් ජපානය තේරී පත්ව ඇත. එහිදී ජපානයේ ගුවන් ගමන් බලපත්‍රය වෙත ඉහත කී අවස්ථාවන් ලබා දෙන රටවල් සංඛ්‍යාව 193කි. ජපානය මෙම දර්ශකයේ පළමු ස්ථානයට පත් වූයේ පිට පිට සිව්වැනි අවස්ථාවටයි.

එහි දෙවැනි ස්ථාන සිංගප්පූරුවට (192) හිමිව ඇති අතර දකුණු කොරියාව (191) සහ ජර්මනිය (191) තෙවැනි ස්ථානයේ පසුවෙයි.

Visits: 438