කොළඹ කොටස් හුවමාරුව සඳහා භාරදීමට එදිරිව ගෙවීම් (DVP) යාන්ත්‍රණයක් හඳුන්වාදීමට යයි

කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සඳහා භාරදීමමට එදිරිව ගෙවීම් (DVP – Delivery Vs. Payment) යාන්ත්‍රණයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව කටයුතු යොදමින් සිටින බව පවසයි.

ඒ අනුව මෙම නවතම හඳුන්වාදීම අවසන් වටයේ අත්හදා බැලීම් සහ ආදර්ශ ක්‍රියාත්මක කිරීම්වලින් අනතුරුව 2021 ජූලි 26 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙලෙස DVP යාන්ත්‍රණය ලෙස ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළ වෙත හඳුන්වාදීම මගින් කොටස් අලෙවිකරුවන්ගේ වත්කම් සඳහා වන අවදානම අවම කරවන බව මෙහි සඳහන් වෙයි. ඒ අනුව මෙම නව ක්‍රමවේදය යටතේ ගනුදෙනු කෙරෙන කොටස් අදාළ මිලදී ගන්නා වෙත හුවමාරුවීම ගනුදෙනුවට අදාළ ගෙවීම් පියවීම සිදුවන දිනයේදී පමණක් සිදු වන බව සඳහන් වෙයි.

“වර්තමානයේදී යම් ගනුදෙනුවක් හරහා ගනුදෙනු වන කොටස් ක්ෂණිකයෙන්ම මිලදීගන්නාගේ ගිණුම් වෙත හුවමාරු වෙනවා. එහෙත් එහි මුදල් පියවීම සිදු වන්නේ අදාළ ගනුදෙනු දිනයේ සිට වෙළෙඳ පොළ දින තුනකට (T+3) පසුවයි. ඒ අනුව මෙහිදී අලෙවිකරුවා ගනුදෙනු දින තුනක පියවීමේ අවදානමකට නිරාවරණය වෙනවා.” මෙම නිවේදනයේ සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙලෙස DVP ලෙස නව ක්‍රමවේදයක් හඳුන්වාදීම මෙවැනි පියවීමේ අවදානම අවම කිරීමේ අරමුණින් සිදු කරන්නකි, කෙසේ වෙතත් කොළඹ කොටස් හුවමාරුව මෙතෙක් කිසිදු අවස්ථාවකදී හෝ මෙවැනි පියවීමේ ගැටලුවලට මුහුණ දී නොමැති බවත් මෙහිදී පවසා සිටියි.

ඒ අනුව මෙවැනි ආකාරයට භාරදීමට එදිරිව පියවීම් ක්‍රමවේදයක් යොදා ගනිමින් සුරැකුම්පත් සහ අරමුදල් පියවීම් එකම අවස්ථාවක සිදු කරමින් පියවීමේ අවදානම් අවම කිරීම සඳහා වන ගෝලීයව පිළිගත් යාන්ත්‍රණයක් ලෙසත් බලධාරීන් හඳුන්වා දී තිබේ.

“මෙම භාරදීමට එදිරිව පියවීම් (DVP) යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම වෙළෙඳ පොළ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා වඩාත් අත්‍යවශ්‍ය කරුණක්. ඒ හරහා ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළ පිළිබඳව වන වගවීම සහ අවංකබව ඉහළ යනවා. ඊටත් අමතරව කොළඹ කොටස් හුවමාරුව සඳහා මෙවැනි DVP පියවීමේ යාන්ත්‍රණයක් යොදා ගැනීමෙන් එය ජාත්‍යන්තර වෙළෙඳ පොළ දර්ශකයන් තුළ නැගී එන වෙළෙඳ පොළ යටතේ වන අමතර සුදුසුකමක් බවටද පත්වෙනවා.” යනුවෙන් මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මෙලෙස කොළඹ කොටස් හුවමාරුව වෙත DVP යාන්ත්‍රණයක් හඳුන්වාදීමට පෙරාතුව මේ දක්වා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව විසින් ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතිය (ATS), මධ්‍යම තැන්පතු පද්ධතිය (CDS) සඳහා වන කැපීපෙනන යාවත්කාලීන කිරීම් සිදුකර ඇති බවත්, අවදානම් කළමනාකරණයේ සහ ආන්තික පද්ධතියේ දියුණු කිරීම්ද ඊට ඇතුළත් බවත් පවසයි. ඊට අමතරව කොටස් තැරැව්කාර කාර්යාල සියල්ලගේම පාහේ තාක්ෂණයද මේවනවිට දියුණු කර ඇතැයි සඳහන් කරයි.

“මෙම DVP පියවීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරමින් ආන්තික මොඩලය තවදුරටත් දියුණු කිරීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ගෙවුණු කාලසීමාවේදී මෙලෙස CDS රීති, ATS රීති, ලැයිස්තුගතවීමේ රීති සහ කොටස් තැරැව්කාර නීති යනාදිය සඳහා වන සංශෝධන වෙනුවෙන් අවශ්‍ය නියාමන අනුමැතියන් ලබාදී තිබෙනවා.” මෙම නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අනුව මෙම නවතම හඳුන්වාදීම වන DVP පියවීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් සිදුකරන මූලික අත්හදා බැලීම්වලින් අනතුරුව අවසන් වටයේ වෙළෙඳ පොළ තුළ සිදුකරන පුළුල් අත්හදා බැලීම් ලබන ජූලි 15 වැනිදා වනවිට සම්පූර්ණ කිරීමටත් සැලසුම් කර තිබේ.

“මෙලෙස DVP යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකාවේ කොටස් ගනුදෙනු ඉතිහාසයේ සංධිස්ථානයක් බවට පත්වේවි. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ වෙත දිගුකාලීන අවශ්‍යතාවක්ව පවතින මධ්‍යම ප්‍රතිපාර්ශ්ව පද්ධතිය (CCP – Central Counter Party System) පිහිටුවීම සඳහා වන මාර්ගය සකස් කරාවි.” යනුවෙන්ද මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Visits: 838