2021 පළමු කාර්තුවේදී ලැයිස්තුගත සමාගම්හි ඉපැයීම් රුපියල් බිලියන 100 ඉක්මවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් මගින් 2021 පළමු කාර්තුවේදී වෙළෙඳ පොළ හරහා සිදු කර ඇති සමස්ත ඉපැයීම් සංඛ්‍යාව රුපියල් බිලියන 109.3ක් බව වාර්තා වෙයි. මෙය කොළඹ කොටස් හුවමාරු ඉතිහාසය තුළ රුපියල් බිලියන 100ක් ඉක්මවන ඉපැයීමක් වාර්තා කළ පළමු අවස්ථාවද මෙයයි.

එසේම මෙය 2020 වසරේ පළමු කාර්තුවේදී වාර්තා කළ ලැයිස්තුගත සමාගම්හි ඉපැයීම්හි වටිනාකම වූ රුපියල් බිලියන 34.2ට සාපේක්ෂව 189%ක වර්ධනයකි.

මෙලෙස 2021 පළමු කාර්තුවේදී වාර්තා කළ රුපියල් බිලියන 109.3ක ඉපැයීම් සහ 2021 අවසන් කාර්තුවේදී වාර්තා කළ රුපියල් බිලියන 85.4ක ඉපැයීම්ද සමගින් අවසන් මාස හය තුළදී ලැයිස්තුගත සමාගම්හි සමස්ත ඉපැයීම්හි වටිනාකම රුපියල් බිලියන  194.7ක් බවට පත්ව ඇත. එසේම 2020 පළමු කාර්තුවේ සිට 2021 පළමු කාර්තුව දක්වා වූ මාස 12ක කාලසීමාවේදී සමස්ත ඉපැයීම් රුපියල් බිලියන 250ක් ඉක්මවා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කොළඹ කොටස් හුවමාරුවෙහි තැරැව්කාර සමාගමක් වන සොෆ්ට්ලොජික් ස්ටොක්බ්‍රෝකර්ස් පෞද්ගලික සමාගම, කොවිඩ්-19 වසංගතයේ රැලි දෙකක් හරහා ක්‍රියාත්මක වුණු ලොක්ඩවුන් සීමා මධ්‍යයේ මෙම වර්ධනය අත්පත් කරගැනීමට ලැයිස්තුගත සමාගම් සමත්ව ඇතැයි පවසා සිටියි.

විශේෂයෙන්ම ලොක්ඩවුන් කාලසීමාවෙන් අනතුරුව රට තුළ ක්‍රියාත්මක වූ ආනයන ආරක්ෂණය, ආර්ථිකය ගොඩනැගීමේ ණය සහන සහ ඩොලරයේ අවප්‍රමාණය වීම යනාදී කාරණා හේතුවෙන් දේශීය කර්මාන්ත සහ අපනයන වෙත ඉහළ ඉල්ලුමක් හිමි වූ බවත් ඒ හේතුවෙන් එම සමාගම් වෙත ඉහළ ඉපැයීමක් ළගා කරගැනීමට අවස්ථාව හිමි වූ බවත් සඳහන් වෙයි.

සොෆ්ට්ලොජික් ස්ටොක්බ්‍රෝකර්ස් සමාගමේ කරුණූ දැක්වීම හරහා වාර්තාවක් ගෙන ඩේලිඑෆ්ටී පුවත්පත මෙහිදී මූලිකවම එවැනි ඉපැයීමක් සඳහා දායක වූ ලැයිස්තුගත සමාගම්හි අංශ සහ 2021 පළමු කාර්තුවට සාපේක්ෂව 2021 පළමු කාර්තුවේදී එම සමාගම් පෙන්වා ඇති ඉපැයීමේ වර්ධනයන් පිළිබඳව සඳහන් කර සිටියි.

ඒඅනුව මේ අතරින් බැංකු අංශය රුපියල් බිලියන 24.8ක දායකත්වයක් ලබා දී ඇති අතර, එහි ඉපැයීම් 70%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. එසේම ප්‍රාග්ධන භාණ්ඩ අංශය තුළ ඉපැයීම් රුපියල් බිලියන 22.3ක් ලෙස සටහන්ව ඇති අතර එය 214% ක වර්ධනයකි. ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය තුළ රුපියල් බිලියන 16.7ක ක ඉපැයීමක් වාර්තා වී ඇති අතර එය 827% ක වර්ධනයකි.

නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය තුළ රුපියල් බිලියන 7.95ක ඉපැයීමක් වාර්තා වී ඇති අතර, එය 267% ක වර්ධනයකි. දුරකතන සන්නිවේදන අංශය බිලියන 4.6ක ඉපැයීමක් වාර්තා කර ඇති අතර එය 36%ක වර්ධනයකි. ප්‍රවාහන අංශය රුපියල් බිලියන 4ක ආදායමක් දක්වා ඇති අතර එය 998%ක සුවිශාල වර්ධනයකි.

සෞඛ්‍යආරක්ෂිත උපාංග සහ සේවා අංශය තුළ ඉපැයීම් රුපියල් බිලියන 2.3ක් ලෙස සටහන්ව ඇති අතර එය 532%ක වර්ධනයකි. සිල්ලර අංශය තුළ රුපියල් බිලියන 1.35ක ඉපැයීමක් වාර්තා කර ඇති අතර, එය 612%ක වර්ධනයකි. මීට අමතරව උපයෝගිතා අංශය තුළ ඉපැයීම් රුපියල් මිලියන 471ක් වාර්තා වී ඇති අතර, එය 99%ක වර්ධනයකි.

Visits: 270