රජයට අයත් ව්‍යවසායන් 4ක් ලැයිස්තුගත කිරීමට සූදානමින්ලු

රජය යටතේ ස්ථාපිත කෙරුණු නව ව්‍යාපාරික ව්‍යවසායන් 4ක් සීමාසහිත සමාගම් ලෙස රජයට අයත් උපායමාර්ගික ලෙස වැදගත් ව්‍යවසායන් 52 වෙත එක් කරමින්, ඉන් අනතුරුව එම සමාගම් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි පවසයි.

ඒ අනුව රජයට අයත් සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ම් පෞද්ගලික සමාගම, සහස්යා ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම, සෙන්ටර් ෆෝ රොබොටික්ස් පෞද්ගලික ආයතනය සහ ශ්‍රී ලංකා බයෝටෙක්නොලොජි පෞද්ගලික ආයකනය එම සමාගම් වෙයි.  

මෙම ව්‍යවසායන් මුදල් අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ තාක්ෂණික අමාත්‍යාංශය යටතේ පවතින අතර ඒවායේ තනි කොටස්හිමිකරුවා වන්නේ මහා භාණ්ඩාගාරයයි.

රජයට අයත් පාඩු ලබමින් තිබෙන ව්‍යවසායන් යළි සකස් කරවමින් ඒවා ගෝලීය ව්‍යාපාරික වේදිකාව තුළ තරගයක් ලබා දිය හැකි විවිධාංගීකරණයවූ සමාගම් බවට පත් කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ වී තිබේ. ඒ අනුව මේ යටතේ රජයට අයන් ව්‍යවසායන් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයකට යටත් කරමින් ඒවායේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සැලසුම වී ඇත.

අද වනවිට රජයට අයත් ව්‍යවසායන් 287ක් පවතින අතර ඒ අතරින් ව්‍යවසායන් 52ක් උපායමාර්ගිකව වඩාත් වැදගත් රාජ්‍ය ව්‍යවසායන් ලෙස හඳුනාගෙන තිබේ. එම ව්‍යවසායන් යළි සකසමින් රටෙහි ආර්ථික වර්ධනය වේගවක් කළ හැකි බවත් රජයේ අදහස වී ඇත.

මෙලෙස ඉදිරියේදී ලැයිස්තුගත කිරීමට නියමිත සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් සමාගම රජයට අයත් හෝටල් ඇතුළු ප්‍රධාන දේපළ වෙළෙඳාම් ඇතුළත් සමාගමකි. හිල්ටන් හෝටලය අයත් හොටෙල් ඩිවලොපර්ස් ලංකා පෞද්ගලික සමාගම, ග්‍රෑන්ඩ් හයාට් හෝටලය අයත් කැන්විල් හෝල්ඩිංග්ස් සමාගම සහ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ඒ යටතට ගැනේ.

එසේම ලැයිස්තුගතවීමට නියමිත දෙවැනි සමාගම වන සහස්යා ඉන්වෙස්ට්මන්ට් පෞද්ගලික සමාගම මෙරට අධීවේගී මාර්ග සහ අනෙකුත් පතල් ඇතුළු වත්කම්හි හිමිකාරීත්වය සහ මෙහෙයුම් සිදුකරන සමාගම වෙයි.

මී‍ට අමතරව රට තුළ ජානවිද්‍යාව, රොබෝ, තොරතුරු සන්නිවේදන තාක්ෂණය සහ නැනෝ තාක්ෂණය දියුණු කරවීමේ මූලික ප්‍රතිපත්තියක්ද රජය සතුව පවතී. ඒ හරහා ආර්ථික වර්ධනය සහ ජාතික සංවර්ධන අපේක්ෂාව වී තිබේ.

ඒ අනුව දැනට තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින CERA (Centre of Excellence for Robotics Applications (Pvt) Ltd) සමාගමත් ඉදිරියේදී ලැයිස්තුගත කිරීමට සැලසුම වී තිබේ. අද වන විට එම සමාගම පෞද්ගලික අංශයේ සමාගම් වෙත අවශ්‍ය කෘත්‍රිම බුද්ධි වැඩසටහන් සඳහා අවශ්‍ය සහාය ලබා දෙයි.

මේ අතර, ශ්‍රී ලංකා බයෝතාක්ෂණික ආයතනයද (SLIBTEC – Sri Lanka Institute of Biotechnology) මෙම ලැයිස්තුගත කිරීමට ඇතුළත්ව පවතින අතර, එම ආයතනය මගින් ඉහළ මට්ටමේ බයෝතාක්ෂණික නවෝත්පාදන ඉදිරිපත් කිරීමේ නියැලී සිටියි.

ඒ අනුව රටෙහි ආර්ථික වර්ධනය සඳහා දායක කරගත හැකි මෙම ආයතන තුළ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයන් ඇති කරමින්, ඒ හරහා එම ආයතනවල කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම මහාභාණ්ඩාගාරයේ අරමුණ වී තිබේ.

මෙහිදී මෙම සමාගම් හතරෙහි වැඩිමනක් කොටස් හිමිකම මුදල් අමාත්‍යාංශය සතුව පවත්වා ගනිමින් ඒවා වෙත පෞද්ගලික ප්‍රාග්ධන ආයෝජන ලබා ගැනීමේ අවස්ථාව ලබා දීම මෙහි අපේක්ෂාව වී ඇත.

Visits: 878