පෝර්ට් සිටියේ රැකියාවක් හිමි වන තරුණයෙකුගේ අවම වැටුප ඩොලර් 1‍,000ක් වේවිලු

කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටියේ රැකියාවක් සඳහා සුදුසුකම් ලබන තරුණයෙකු වෙත මාසිකව හිමිවන වැටුප අවම වශයෙන් එක්සත් ජනපද ඩොලර් 1,000ක් එනම් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් පමණ වනු ඇතැයි එම වරාය නගරය සඳහා පත් කෙරුණු විශේෂිත කොමිෂන් සභාවේ සාමාජික ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පවසයි.

අද ප්‍රකාශයට පත් කෙරුණු සිලෝන් ටුඩේ පුවත්පත වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

කෙසේ වෙතත් එම තරුණයන්ට හිමිවන රැකියාව අනුව මෙම හිමිවන වැටුප තවත් ඉහළ යා හැකි බවත්, එහිදී වැටුපේ ස්වභාවය අනුව මාසිකව එක්සත් ජනපද ඩොලර් 1,000 සිට 1,500, 2,000 සහ 3,000 හෝ ඊට වඩා වැඩි වැටුපක්ද හිමි කරගැනීමේ අවස්ථාවක් පවතින බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

“පෝර්ට් සිටියේ පළමු වසර 5ත් – 10ත් අතර කාලයේදී රැකියා අවස්ථා 83,000ක් පමණ නිර්මාණය වේවි. ඒ අතරින් පළමු වසර දෙකේදී රැකියා 10,000කට පමණක් රැකියා ලබා දිය හැකි වේවි.” ප්‍රියත් බන්දු වික්‍රම මහතා පවසා තිබේ.

මෙහිදී පළමු වසර දෙකක කාලයේදී මූලික ගොඩනැගිලි ඉදිකිරීම් සිදු කරන බවත්, එහිදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවන් හිමි වනු ඇති බවත් ඒ මහතා පවසයි. එම වසර දෙකෙන් අනතුරුව එහි කාර්යාලය සහ ආයතන පිහිටුවීමත් සමගින්ම තවත් රැකියා එහි බිහි වනු ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

විශේෂයෙන්ම පරිගණක තාක්ෂණය, තොරතුරු සන්නිවේදන තාක්ෂණ මෙන්ම ඉංග්‍රීසි දැනුම සහිතව ඉතා හොඳ අධ්‍යාපනයක් ලබන තරුණයන් සඳහා මෙම පෝර්ට් සිටියේ රැකියා අවස්ථාවන් ලබාදිම පිළිබඳව අවධානය යොමු කරන බවත් ප්‍රියත් බන්දු මහතා පුවත්පත වෙත පවසා ඇත.

“බැංකු, රෝහල්, විශ්වවිද්‍යාල, පරිගණක ආයතන, තොරතුරු තාක්ෂණික සංවිධාන, උසස් අධ්‍යාපන ආයතන, විවිධ කාර්යාලය, විවිධාකාරයේ සේවා සපයන ආයතන, හෝටල්, සම්මන්ත්‍රණශාලා, ලෙෂර් උද්‍යාන, ක්‍රීඩා ක්‍රියාකාරකම්, සාප්පු සංකීර්ණ මෙන්ම ජාත්‍යන්තර සමාගම් සඳහා වන කාර්යාලත් කොළඹ පෝර්ට් සිටියෙව් මෙහි පිහිටු වේවි. ඒ හරහා හිමිවන රැකියා අවස්ථාවන් ප්‍රධානවම ශ්‍රී ලාංකික තාරුණ්‍යය වෙත හිමි වේවි.” යනුවෙන්ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒ මහතා පවසන ආකාරයට රජය විසින් මෑතකදී ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයකට අනුව කොළඹ වරාය නගරයෙහි රැකියා අවස්ථාවන්ගෙන් 75%ක්ම මෙරට තරුණයන් වෙත ලබාදිය යුතු බවට යෝජනා කෙරී ඇති අතර, දැනටමත් මෙම යෝජනාව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යවරයා මෙන්ම ඩිජිටල් තාක්ෂණික සහ ව්‍යාවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබේ.

Visits: 863