තරුපන්තියේ හෝටලයක් සඳහා අබාන්ස් සමූහය සහ Marriot Inc. අතර එකඟතාවක්

අබාන්ස් සමූහයට අයත් අබාන්ස් ඉන්ටර්නැෂනල් ගෘප් මගින් ක්‍රියාත්මක මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන කලම්බු සිටි සෙන්ටර් සමගින් නව හෝටල් ව්‍යාපෘතියක් වෙනුවෙන් එකඟතාවකට පිවිසීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ Marriot International Inc. සමාගම පසුගියදා කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මෙම එකඟතාවත් සමගින්ම Marriot හෝටල් සමූහයේ ‘The Courtyard by Marriot’ වෙළෙඳ නාමය සහිත පළමු හෝටලය අබාන්ස් සමූහයේ කලම්බු සිටි සෙන්ටර්හි පිහිටුවීම සැලසුම වී ඇත.

කලම්බු සිටි සෙන්ටර්හි 9 වැනි මහලේ සිට 20 වැනි මහල දක්වා පිහිටුවීමට නියමිතව තිබූ කාමර 164 කින් සමන්විත නෙස්ක්ට් හොටෙල් කලම්බු ව්‍යාපෘතිය අත්හැරදැමීමෙන් අනතුරුව එම පහසුකම් යොදා ගනිමින් මෙම ‘The Courtyard by Marriot’ හෝටලය පිහිටුවීම සැලසුම වී තිබේ.

පසුගියදා ප්‍රසිද්ධියට පත් කෙරුණු අබාන්ස් පීඑල්සීහි 2020/2021 වර්ෂය සඳහා වූ මූල්‍ය වාර්තාව වෙත අදහස් දක්වා තිබූ එහි සභාපතිනී අබාන් පෙස්ටොන්ජි මහත්මියද, සිය සමූහයේ ඉදිරි යොමුව ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය සඳහා බව පවසා තිබුණි.

මෙලෙස ඊයේ දිනයේදී අබාන්ස් ඉන්ටර්නැෂනල් සමූහය සහ Marriot International Inc. අතර අත්සන් තැබුණු එකඟතාව පිළීබඳව අදහස් දක්වා ඇති ආසියා පැසිපික් (චීනය හැර) කලාපයේ මැරියට් ඉන්ටර්නැෂනල්හි සභාපති රවීජ මෙනොන් මහතා, “මෙම ගිවිසුම් අත්සන් තැබීමත් සමගින්ම ශ්‍රී ලංකාව තුළ අපගේ මැරියට් බොන්වොයි කළඹේ හෝටල්හි ශක්තිමත් බව තවත් වැඩි කිරීමට හැකියාව ලැබීම ගැන සතුටු වෙනවා.” යනුවෙන් පවසා තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඔහු මෙම අත්සන් තැබීම උපායමාර්ගිකව වැදගත් වෙළෙඳ පොළක් ලෙස ශ්‍රී ලංකාව සමගින් සිය සමාගම දක්වන දිගුකාලීන සම්බන්ධතාවක් බවත් පවසා තිබේ. එසේම මේ හරහා සිය වෙළෙඳ නාමයට රට තුළ වර්ධනයවීමට මෙන්ම පාරිභෝගිකයාට වඩා වැඩි තෝරාගැනීමක් ලබා දෙන බවත් ඔහු පවසා ඇත.

ඉදිවන මෙම හෝටලය තුළ ආහාර ගැනීමේ ස්ථාන දෙකක් පිහිටු වෙන බවත් එහි දිනය පුරාම ආහාර ලබා ගත හැකි ආපනශාලාවක්ද ඇතුළත් වන බවත් පැවසෙයි. එහි බටහිර ආහාර පාන, ආසියානු ආහාර පාන මෙන්ම දේශීය ආහාරද තැබෙන බවත්, ලොබි ප්‍රදේශයේ පිහිටුවෙන මත්පැන් ශාලාව අංගසම්පූර්ණ සේවාවක් සහිතව ලබා දෙයි. මීට අමතරව පැය 24 පුරා ක්‍රියාත්මක ශරීරයෝග්‍යතා මධ්‍යස්ථානයක්, බාහිර පිහිණුම් තටාකයක් සහ නවීනතම ශ්‍රව්‍ය දෘෂ්‍ය පහසුකම් සහිත සහ වයිෆයි ඉන්ටර්ටෙන් සබඳතා සහිත හමුවීමේ කාමරද මෙහි පිහිටුවෙයි.

Marriot International Inc. සමගින් ඇති කරගත් මෙම එකඟතාව පිළිබඳව අදහස් දක්වන අබාන්ස් සමූහයේ සභාපතිනී අබාන් පෙස්ටොන්ජී මහත්මිය, “මෙලෙස Marriot International සමගින් උපායමාර්ගික සහයෝගිතාවක් ඇති කරගැනීමට හැකියාව ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඒ හරහා අපගේ සබඳතාව තව තවත් ශක්තිමත් වේවි. මෙම එකඟතාවත් සමගින්ම අබාන්ස් සමූහය ලෙස අපි ශ්‍රී ලංකාවේ පළමු ‘The Courtyard by Marriot’ හෝටලය විවෘත කිරීමට බලාපොරොතතුව සිටිනවා. ඒ සඳහා කලම්බු සිටි සෙන්ටර් සමගින් Marriot International සම්බන්ධවීම ගැන ඉතාමත් සතුටට පත්වෙනවා.” යනුවෙන් පවසා තිබේ.

Visits: 215