SDB දෙවැනි මහජන නිකුතුව මිලදී ගැනීමට සංවර්ධන මූල්‍ය ආයතන දෙකක කැමැත්ත

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බලපත්‍රලාභී වාණීජ බැංකුවක් වන සණස සංවර්ධන බැංකුව (SDB බැංකුව) මගින් ඉදිරියේදී සිදු කිරීමට නියමිතව ඇති රුපියල් බිලියන 4.53ක් වටිනා දෙවැනි මහජන නිකුතුව (Secondary Public Offering) සඳහා දායක වීමට විදෙස් සංවර්ධන මූල්‍ය ආයතන දෙකක් දැනටමත් සිය කැමැත්ත පළ කර ඇතැයි පවසයි.

SDB බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරී තිලක් පියදිගම මහතා පසුගියදා පැවැත් වුණු අන්තර්ජාල සාකච්ඡාවක් වෙත එක්වෙමින් මෙම කරුණු අනාවරණය කළ බව මේ පිළිබඳව වාර්තාවක් ගෙන එන ඩේලිමිරර් පුවත්පත පවසයි. කොළඹ කොටස් හුවමාරුවෙහි තැරැව්කාර සමාගමක් වන CT CLSA Securities සමාගම මගින් එය සංවිධානය කර තිබුණි.

“පැහැදිලිවම මෙම දෙවැනි මහජන නිකුතුව සඳහා සංවර්ධන මූල්‍ය ආයතනවල සහභාගිත්වයක් තිබෙනවා. දැනටමත් එවැනි ආයතන දෙකක් මෙම නිකුතුවෙහි සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට කැමැත්ත පළ කරලා. ඊට අමතරව දේශීය සහභාගිත්වයකුත් මේ සඳහා පවතිනවා. මෙවැනි අතිශය අසීරු කාලසීමාවකදී වුවත් කිසිදු ගැටලුවකින් තොරව අපිට මේ අවස්ථාවන් සපුරා ගන්නට හැකියාව ලැබේවි කියලා අපි විශ්වාස කරනවා.” පියදිගම මහතා එලෙස සඳහන් කර තිබේ.

මෙම දෙවැනි මහජන නිකුතුවේදී SDB බැංකුව සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 88ක් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. එහිදී කොටසක් රුපියල් 51.50ක් බැගින් නිකුත් කරන බව පැවසෙයි. අදියර දෙකක් යටතේ සිදු කරන මෙම නිකුතුවේ පළමු අදියර ලෙස කොටස් මිලියන 68ක් නිකුත් කෙරෙන අතර, ඊට ඉදිරිපත් වන අධි ඉල්ලුමත් සමගින්ම තවත් අමතර කොටස් මිලියන 20ක් නිකුත් කරන බව SDB බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය  පවසයි. ඒ අනුව මෙම සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 4.53කි.

දැනටමත් මෙම නිකුතුව සඳහා සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිව තිබේ. පසුගිය මැයි 28 වැනිදා පැවැත් වුණු බැංකුවෙහි අතිවිශේෂ මහාසභා රැස්වීමේදී ඊට අනුමැතිය ලැබී ඇත. එසේම ඒ සඳහා කොළඹ කොටස් හුවමරුව තුළ අනුමැති ඉදිරියේදී ලැබීමට නියමිතව තිබේ.

SDB බැංකුව සඳහන් කරන ආකාරයට 2021 මාර්තු 31 වැනිදා වන විට බැංකුවෙහි කොටස් හිමිකම් අතරින් 10%ක ප්‍රතිශතයක් නෙදර්ලන්ත සංවර්ධන බැංකුව (FMO) වෙත හිමිව තිබුණී. එසේම ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව (IFC) සහ සිංගප්පූරුවේ පිහිටි SBI-FMO Emerging Asia Financial Sector Fund නම් අරමුදල වෙත පිළීවෙලින් බැංකුවෙහි 5.9% ක සහ 3.1% ක කොටස් හිමිකාරීත්වයක් පවතී.

මීට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයේ රජයට අයත් සංවර්ධන බැංකුවක් වන Development Finance Corporation (DFC) මගින් මේ වසර මුලදී SDB බැංකුව වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 40 ණය පහසුකමක් ලබා දීම සිදු විය. රට තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සහ කාන්තා ව්‍යවසායකත්වය වෙත සහාය දැක්වීම මෙහි අරමුණ විය.

ඩේලිමිරර් පුවත්පත පවසන ආකාරයට අද වනවිට SDB බැංකුවේ තනි විශාලතම කොටස්හිමිකරුවා වන්නේ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ප්‍රභාෂ් සුබසිංහ මහතාට අයත් අයෙන්කා හෝල්ඩිංග්ස් (පෞද්)සමාගමයි. එය 12.4%ක ප්‍රතිශතයකි. අනතුරුව ආචාර්ය ටී. සෙන්තිල්වේල්ගේ හිමිකාරීත්වය සහිත සෙන්තිල්වේල් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම වෙත තවත් 11.5%ක කොටස් හිමිකාරීත්වයක් ඇත.

මෙම දෙවැනි මහජන නිකුතුව හරහා SDB බැංකුව වසර 2024 වන විට සිය ප්‍රාග්ධන පදනම රුපියල් බිලින 21ක් දක්වා ඉහළ නංවා ගැනීම අරමුණ වී ඇත. එය සමස්ත ලාභයත් හා එකතු වූ අවස්ථාවක් බව බැංකුව පවසයි.

ඒ අනුව තවත් වසර ගණනාවක් යන තුරුම බැංකුවට අමතර ප්‍රාග්ධන රැස් කිරීමකින් තොරව කටයුතු කළ හැකි වනු ඇති බවත්, ඉදිරි වසර ගණනාවක් සඳහාම සිදු කරන අවසන් ප්‍රාග්ධන රැස්කිරීම මෙය වනු ඇති බවත් SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී පියදිගම මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Visits: 392