LOLC විසින් 2020/21 මූල්‍ය වර්ෂයේදී සමාගමක් ලැබූ ඉහළම ලාභ ඉපැයූවේ මෙහෙමලු

මෙරට මුල් පෙළේ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සමූහයක් වන LOLC සමූහය පසුගිය මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2020/21 මූල්‍යවර්ෂයේදී බදු පෙර ලාභය ලෙස රුපියල් බිලියන 57ක්ද, බදු පසු ලාභය ලෙය රුපියල් බිලියන 53ක්ද වාර්තා කිරීමට සමත්ව ඇතැයි පසුගියදා අනාවරණය කර තිබුණි.

සමූහය වාර්තා කළ මෙම කාර්යසාධනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබූ LOLC සමූහය, මෙරට ඕනෑම සමාගමක් තුළ එවැනි සාර්ථකත්වයක් ළගා කරගත් පළමු අවස්ථාව මෙය බවද සඳහන් කෙරිණි.

“ශ්‍රී ලංකාවේ සමාගම් ලෝකය තුළ මෙවැනි මහාපරිමාණ වශයෙන් ලාභ ඉපැයීමක් සිදුව තිබෙන්නේ පළමු අවස්ථාවටයි. මේ හරහා අපගේ සමූහය පිට පිට වසර තුනක් යළිත් වරක් ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් අතරින් වඩාත් ලාභදායීම සමාගම බවට සිය ස්ථානය සහවුරු කිරීමට සමත්ව සිටිනවා. ඒ අනුව අද වන විට LOLC ලෝකයේ විශාලතම ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක් ලෙස ස්ථාවරත්වයට පත්වෙලා.” යනුවෙන් එම නිවේදනයේ සඳහන්ව ඇත.

විශේෂයෙන්ම LOLC සමාගම 2019/2020 මූල්‍ය වර්ෂයේදී මෙන්ම 2018/2019 මූල්‍ය වර්ෂයේදීද පිළීවෙලින් රුපියල් බිලියන 19.7ක සහ 19.6ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

අද වනවිට LOLC සමූහය මූල්‍ය සේවා අංශයට අමතරව කෘෂිකර්මාන්තය සහ වැවිලි, ලෙෂර්, පුනර්ජනනීය බලශක්තිය, ඉදිකිරීම්, නිෂ්පාදන සහ වෙළෙඳාම්, තොරතුරු සේවා මෙන්ම පර්යේෂණ සහ නවෝත්පාදන යනාදී ක්ෂේත්‍ර දක්වාද ව්‍යාප්තව සිටියි. සමාගමේ මෙම නිවේදනයට අනුව 2020/21 මූල්‍ය වර්ෂයේදී එම ව්‍යාපාර සියල්ලම පාහේ ඉහළ ලාභ අත්කරගැනීමට සමත්ව ඇත.

විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගත තත්ත්වය මධ්‍යයේ මෙරට ආර්ථිකයට සහ ගෝලීය ආර්ථිකය වෙත එල්ල වූ බාධා මෙන්ම රටෙහි දුර්වල දළ ජාතික නිෂ්පාදිතයක් වාර්තා කරද්දී සමාගම මෙම ලාභ රැස් කරගැනීමට හැකියාවක් ලැබීමත් කැපී පෙනෙන බව සමාගම පවසයි.

LOLC සමූහයේ මූල්‍ය සමාගම් අතින් ගත් විට ගෙවුණූ මූල්‍ය වර්ෂයේදී අඩු පොළී අනුපාත පැවතියා වුවද වඩාත් ශක්තිමත් තැන්පතු ගලා ඒමක් වාර්තා කර තිබේ. ඒ අතරින් රුපියල් බිලියන 170ක වත්කම් පදනමක් සහිත LOLC ෆිනෑන්ස් පීඑල්සී (LOFC) සමාගම රුපියල් බිලියන 4.4ක බදු පසු ලාභයක් හිමි කරගැනීමට සමත්ව ඇත.

එසේම රුපියල් බිලියන 77ක වත්කම් පදනමක් සහිත කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සමාගම රුපියල් බිලියන 2.2ක ලාභයක් උපයා තිබේ. මීට අමතරව රුපියල් බිලියන 19ක සමස්ත වත්කමක් සහිත LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (LODF) සමාගම රුපියල් මිලියන 155ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත.

මේ අතර LOLC වැඩි කොටස් හිමිකාරීත්වයක් සහිත සෙලාන් බැංකුව මේ වසරේදී රුපියල් බිලියන 3ක බදු පසු ලාභයක් වාර්තා කර තිබේ. එසේම එහි තැන්පතුද පෙර වසරට සාපේක්ෂව 9.9%ක ඉහළයාමක් වාර්තා කර ඇත.  

එසේම LOLC සමාගම 2007 වසරේදී සිය මුදල් ආයෝජනය කළ කාම්බෝජයේ PRASAC ක්ෂුද්‍ර මූල්‍ය සමාගම ගෙවුණූ වසර 12 තුළදී ඩොලර් බිලියන ගණනක ව්‍යාපාරයක් බවට පත්වූ බවත්, එහි කොටස් අතරින් 70%ක් කොරියාවේ විශාලතම වාණිජබැංකුව වන Kookmin Bank මගින් ඩොලර් මිලියන 603කට මිලදී ගැනීමත් LOLC සමූහයේ ශේෂපත්‍රය තවදුරටත් ශක්තිමති කිරීමට හේතුව වී තිබේ.

මේ අතර LOLC සමූහය මගින් ක්‍රියාත්මක කරන විදේශීය මූල්‍ය සේවාවන්ද 2020/21 මූල්‍ය වර්ෂයේදී එහි ලාභඉපැයීමේ වෙත ශක්තිමත් දායකත්වයක් ලබා දී ඇත. ඒ අතරින් LOLC කාම්බෝජියා සමාගම එක්සත් ජනපද ඩොලර් බිලියන 1ක වත්කම් පදනමක් ඉක්මවා ඇති අතර එහි බදු පසු ලාභය ඩොලර් මිලියන 45ක් ලෙස සටහන්ව ඇත. කාම්බෝජයේ ක්‍රියාත්මක LOLC කාම්බෝජියා සමාගම එරට සිව්වැනි විශාලතම ක්ෂුද්‍රමූල්‍යසමාගමද වෙයි.එසේම PRASAC සමාගමට පසුව එරට වඩාත් ලාභදායීම ක්ෂුද්‍රමූල්‍ය ආයතනයද එයයි.

2013 වසරේදී මියන්මාරයේදී පිහිටවුණු LOLC මියන්මාර ක්ෂුද්‍රමූල්‍ය සමාගම අද වන විට එරට ඇති ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 176 අතරින් සිව්වැනි ස්ථානයේ පසුවෙයි. එම සමාගමේ වත්කම් පදනම ඩොලර්මිලියන 175ක් වන අතර, මුල්‍ය පහසුකම් කළඹ ඩොලර් මිලියන 126කි. 2020/21 මූල්‍ය වර්ධයේදී LOLC මියන්මාර් සමාගම මගින් එක්සත් ජනපද ඩොලර් මිලියන 3ක බදු පසු ලාභයක් ඉපැයීමට සමත්ව ඇත.

2017 දී පාකිස්තානයේ Pak Oman Microfinance Bank සමගින් හවුල්කාරීත්වයක් අරඹමින් ඇරඹූ ව්‍යාපාරයද අද වනවිට දියුණුවට පත්ව ඇතැයි LOLC පවසයි. ඒ අනුව අද වනවිට මෙම බැංකු ශාකා 66ක් එරට තුළ ක්‍රියාත්මක වන අතර, ගනුදෙනුකරුවන් 50,000ක් ඉක්මවා තිබේ. මීට අමතරව 2018දී සමාගම ඉන්දුනීසියාවේ  PR Sarana Sumut Ventura හි පාලනය අත්පත් කරගනිමින් එරට තුළද සිය මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. අද වනවිට එම සමාගමේ ශාඛා 28ක් පවතින අතර ගනුදෙනුකරුවන් 60,000ක් සිටින බවත් සමාගම පවසයි.

මෙම සමාගම්වල අමතරව LOLC සමූහය අද වනවිට පිලිපීනය සහ අප්‍රිකාවේ නයිජීරියාව, සැම්බියාව තුළත් ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාර මෙහෙයුම් සඳහා ආයෝජන සිදු කර තිබේ. මීට අමතරව ඉදිරියේදීද තවදුරටත් අප්‍රිකාවේ සහ ආසියාවේ වෙළෙඳ පොළ වෙත සිය මෙහෙයුම් ව්‍යාප්ත කිරීමටත් සමාගම සැලසුම් කර තිබේ.

මේ අතර LOLC සමූහයට අයත් රක්ෂණ සමාගම් දෙකක් වන LOLC ජෙනරල් ඉන්ෂූවරන්ස් ලිමිටඩ් සහ LOLC ලයිෆ් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් යන සමාගම් දෙකද මෙම වසංගත තත්ත්වය හමුවේ ඉතා සාර්ථක ප්‍රථිපල අත්කර දී තිබේ. ඒ අතරින් LOLC ලයිෆ් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගම රුපියල් බිලියන 3.2ක දළ ලිඛිත වාරිකයක් සනිටුහන් කිරීමට සමත්ව සිටියි. මෙය වසර 10ක කාලයක් තුළදී එවැනි සන්ධිස්ථානයකට පත් වූ පළමු ජීවිත රක්ෂණ සමාගම වන්නේද එයයි. එසේම LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගම රුපියල් බිලියන 6ක දළ ලිඛිත වාරිකයක් සටහන් කරමින්, සාමාන්‍ය රක්ෂණ අංශය යටතේ වසර 10කදී එවැනි සාර්ථකත්වයක් ළඟ කරගත් පළමු සමාගම බවටද පත්ව තිබේ.

මෙරට ප්‍රමුඛ පෙළේ කොටස් තැරැව්කාර සමාගමක් වන LOLC සෙකියුරිටීස් සමාගමද ශක්තිමත් දේශීය තනි පුද්ගල සහ විදේශීය ආයතනික ගනුදෙනුකරුවන්ගේ පදනමක්ද සමගින් 2020/21 මූල්‍ය වර්ෂයේදී සිය වෙළෙඳ පොළ කොටස 7% සිට 9.5%ක් දක්වා වරෟධනය කරගෙන ඇත.

මේ අතර මූල්‍ය නොවන අංශයේ සමාගම් යටතේ LOLC සමූහයේ බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගම සහ එහි ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ඉතාමත් ඉහළ සාර්ථකත්වයක් වාර්තා කිරීමට සමත්ව සිටියි. ඒ අතරින් බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි සමාගමේ ගනුදෙනු මෙම මූල්‍ය වර්ෂයේදී එහි ඉහළම ආදායමක් වාර්තා කර ඇති අතර එය 45%ක වර්ධනයකි. එසේම දළ ලාභයත් 47%කින් වර්ධනය වී ඇත. එම මූල්‍ය වසරේදී සමාගමේ බදු පසු ලාභය රුපියල් බිලියන 1.8 කි.

අද වනවිට බ්‍රවුන්ස් සමාගම සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් එක්ව ශ්‍රී ලංකාවේ ආර්ථිකය වඩාත් ඉහළින් බලගැන්වීමට දායකත්වය ලබා දෙන අතර එහිදී නිෂ්පාදන, ඉංජිනේරු, කෘෂිකාර්මික යන්ත්‍ර, ඔටෝමෝටිව්, බල සංචායක, පුනර්ජනනීය බලශක්ති, ලෙෂර් සහ ආගන්තුක සත්කාර, වැවිලි, ඉදිකිරීම්, සාගරික සහ සත්ත්ව ඖෂධ යනාදී අංශ රැසක් තුළ ව්‍යාප්තව පවතී.

මෙම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් යටතේ මෑතකදී සිදු කළ වඩාත් කැපී පෙනෙනම ආයෝජනය වන්නේ කොළඹ වරාය නගරය තුළ සිදු කරන පළමු ඉදිකිරීම සඳහා චයිනා හාර්බර් ඉන්ජිනියරිං කම්පැනි ලිමිටඩ් හා පිවිස තිබෙන එකඟතාවයි. මෙහි වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියනයකි.

Visits: 615