2021 පළමු මාස 5 තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළ උද්‍යෝගිමත් ගමනකලු

  • ASPI හි 9.3% ක සහ S&PSL20 හි 13% ක වර්ධනයක්
  • වෙළෙඳ පොළ පිරිවැටුමේ රු. බිලියන 414.5ක නව වාර්තාවක්
  • ඩිජිටල්කරණයෙන් පසු දෛනික ගිණුම් විවෘත වීම් දෙගුණයකින් ඉහළට

2021 වර්ෂයේ පළමු මාස 5 ඇතුළත එනම් 2021 මැයි මස 31 වන දිනය වන විට සියලු කොටස් මිල දර්ශක අගය 9.3%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබෙන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&PSL20) දර්ශකයද 13% ක ප්‍රතිශතයක වර්ධනීය අගයක් වාර්තා කර තිබේ.

මීට අමතරව පෙර වාර්තා බිඳ හෙලමින් වෙළෙඳ පොළ පිරිවැටුමද රුපියල් බිලියන 414.5ක් ලෙස වාර්තා වූ බවද කොළඹ කොටස් හුවමාරුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරයි. ඒ අනුව මෙය 2020 වර්ෂයේ වාර්ෂික වෙළෙඳ පොළ පිරිවැටුම වූ රුපියල් බිලියන 396ක අගය ඉක්මවා යාමකි.

එමෙන්ම මෙම අගය කොටස් වෙළෙඳ පොළ ඉතිහාසය තුළ මෙතරම් කෙටි කලක් තුළ වාර්තා වූ තුන්වන හොඳම අගය ලෙසද සැලකෙන බවද කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

“මින් පෙර මෙවැනි වෙළෙඳ පොළ පිරිවැටුමෙහි ඉහළ අගයන් වාර්තා වූයේ 2010 හා 2011 කාලසීමාව තුළදීය. එනම් පිළිවෙලින් රුපියල් බිලියන 570ක් සහ බිලියන 546ක් ලෙසිනි. දෛනික සාමාන්‍ය වෙළෙඳ පොළ පිරිවැටුමෙහි මෙතෙක් ඉතිහාසයේ ඉහළම අගය වන රුපියල් බිලියන 4.4ක අගය 2021 මැයි මස 31 වන දින වාර්තා වීම සුවිශේෂී වේ. එපමණක්ද නොව දෛනික වෙළෙඳ පොළ ගනුදෙනුවල සාමාන්‍ය අගය වන 27,000ක අගය පෙර වසරට සාපේක්ෂව දෙගුණ වී තිබේ.” යනුවෙන් මෙම නිවේදනයේ සඳහන් වෙයි.

මේ අතර ණය සුරැකුම්පත් හා කොටස් වෙළෙඳ පොළද මෙම කාල සීමාව තුළදී වඩාත් ක්‍රියාශීලී මට්ටකට අවතීර්ණ වීමද තවත් කැපී පෙනෙන වර්ධනයක් ලෙස සටහන්ව ඇත. රජයේ නව ප්‍රාග්ධන වෙළෙඳ පොළ ප්‍රවේශයන් සමඟ මූලික කොටස් නිකුතූන් තුනක් ඉහළ ප්‍රතිචාරයන්ද සමගින් රුපියල් බිලියන 3.9ක ප්‍රාග්ධනයක් සම්පාදනය කර ගෙන තිබේ.

“මෙම මූලික කොටස් නිකුතූන් තුනෙන් දෙකක් වෙළෙඳ පොළෙහි ගනුදෙනුවීම ඇරඹුණූ අතර එම සමාගම් දෙකෙහිම කොටසක මිල නිකුත් කළ මිලට වඩා ඉහළ අගයක් ගැනීමත් කැපී පෙනේ. 2021 වර්ෂය සඳහා තවත් මූලික කොටස් නිකුතූන් කිහිපයක් වෙළෙඳපොළට අවතීර්ණවීමට නියමිතව ඇත.” කොළඹ කොටස් හුවමාරුව පවසයි.

එමෙන්ම මෙම කාලසීමාව තුළදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා වෙන් වුණු Empower පුවරුවෙහි පළමු ලැයිස්තුගතවීම ද වාර්තා වී ඇති අතර, රාජ්‍ය හිමිකාරීත්වය සහිත ලංකා විදුලි බල මණ්ඩලයෙහි ප්‍රථම ලැයිස්තුගත මහජන ණයකර නිකුතුවද සිදු වී තිබේ.

මේ අතර වෙළෙඳපොළෙහි නව ඩිජිටල්කරණ වැඩපිළීවෙල යටතේ නව ගිණුම් රාශියක් විවෘත වී තිබෙන බවත්, එය හඳුන්වාදුන් 2020 සැප්තැම්බර් සිට මේ දක්වා දෛනික ගිණුම් විවෘත වීමේ සාමාන්‍ය අගය දෙගුණ වෙමින් ඉහළ තරුණ ආයෝජක ප්‍රතිචාරයක් ලැබෙමින් පවතින බවත් මෙම නිවේදනයේ සඳහන් වෙයි.

“විශේෂයෙන්ම වසංගත තත්ත්වයක් තුළ, සංචරණසීමා සහිතව දුරස්ථව මෙහෙයුම් සිදු කරන කාලපරාසයකදී මෙලෙස වෙළෙඳ පොළ පිරිවැටුම, ගනුදෙනු ප්‍රමාණය හා නව ගිණුම් ආදියෙහි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කිරීම කැපී පෙනෙන අවස්ථාවකි.” කොළඹ කොටස් හුවමාරුව අවසන් වශයෙන් අවධාරණය කර සිටියි.

Visits: 281