හේමක අමරසූරිය ඇක්මි ප්‍රින්ටින්ග් ඇන්ඩ් පැකේජිං සභාපති ධුරයෙන් ඉවත්වීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඇක්මි ප්‍රින්ටින්ග් ඇන්ඩ් පැකේජිං පීඑල්සී සමාගමෙහි සභාපතිවරයා ලෙස කටයුතු කරන හේමක අමරසූරිය මහතා එම ධුරයෙන් ඉවත්වීමට සූදානමින් සිටින බව පවසයි.

ඒ අනුව ලබන ජූනි 30 වැනිදා ඒ මහතා සභාපති ධුරයෙන් ඉවත්වනු ඇතැයි ඇක්මි ප්‍රින්ටින්ග් ඇන්ඩ් පැකේජිං පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී තිබේ.

හේමක අමරසූරිය මහතා ඇක්මි ප්‍රින්ටින්ග් ඇන්ඩ් පැකේජිං පීඑල්සී සමාගමේ සභාපති ධුරය සඳහා පත් වූයේ 2015 අප්‍රේල් 02 වැනිදාය. මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඒ මහතා සිංගර් ශ්‍රී ලංකා සමූහයේ සහ NDB බැංකුවෙහි හිටපු සභාපතිවරයෙකුද වෙයි.

මෙම පත්වීම ලබන අවස්ථාව වන විට හෝ ඉන් ඉවත්වන අවස්ථාව වන විට හෝ හේමක අමරසූරිය මහතා සතුව සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති වූ බවත් පැවසෙයි.

මේ අතර ඇක්මි ප්‍රින්ටින්ග් ඇන්ඩ් පැකේජිං පීඑල්සී සමාගමේ කොටස්හිමිකාරීත්වය අතරින් 26.86% ක ප්‍රතිශතයක් හිමිව ඇත්තේ ලංකා ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී සමාගම අයත් ක්ලෝවිස් කම්පැනි ලිමිටඩ් සමාගමටයි.

එසේම රිචර්ඩ්සන් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම වෙත 19.44%ක කොටස් ප්‍රතිශතයක්, ලංකා ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී සමාගම වෙත තවත් 4.46%ක ප්‍රතිශතයක්ද හිමිව තිබේ.

Visits: 145