පිළිකාකාරක පුයර සම්බන්ධව J&J අභියාචනය එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුයිස් ස්ලෙම්ප් නම් කාන්තාවක් විසින් එරට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමට එරෙහිව පනවා තිබූ නඩුව සම්බන්ධයෙන් අධිකරණය මගින් ලබා දී තිබූ තීන්දුවට එරෙහිව එම සමාගම ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම මගින් ටැල්කම් පුයර කුඩු (talcum powder) යොදා ගනිමින් නිෂ්පාදනය කෙරුණු පුයර නිෂ්පාදනයක් වසර 40ක් පුරා භාවිතා කිරීම නිසා තමන්ගේ ඩිම්බකෝෂ ආශ්‍රිතව පිළිකාමය තත්ත්වයක් ඇති වූ බවට චෝදනා කරමින් එම කාන්තාව මිසූරිහි අධිකරණයේ නඩු පවරා තිබුණි.

මෙම පුයර නිෂ්පාදන තුළ ඇස්බැස්ටෝස් අඩංගුව තිබූ බවත්, ඒ හේතුවෙන් තමන් මෙලෙස රෝගී වූ බවත් සමාගම ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කිරීමක් සිදු කර නොතිබූ බවත් පවසමින් එම කාන්තාව 2017 වසරේදී සමාගම වෙත චෝදනා එල්ල කර තිබුණි.

එහෙත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම සිය නිෂ්පාදන සුරක්ෂිත බවට දශක ගණනක් පුරාසිදු කළ ස්වාධීන පරීක්ෂණ හරහා ඔප්පු වී ඇතැයි එහිදී අධිකරණය වෙත අවස්ථා ගණනාවකදීම කරුණු දක්වා තිබුණි.

කෙසේ වෙතත් 2018 වසරේදී මේ සම්බන්ධයෙන් තීන්දුව ලබා දුන් අධිකරණයේ ජූරි සභාව අදාළ කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වයට හානි කිරීමේ චෝදනාව යටතේ පළමු අවස්ථාවේදී ඇය වෙත ඩොලර් බිලියන 4.7ක වන්දියක් ගෙවන ලෙස සමාගම වෙත නියෝග ලබා දී තිබුණි. එහෙත් පසුව එය ඩොලර් බිලියන 2.1ක් දක්වා අඩුව විය.

මේ අතර ජෝන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම අධිකරණය ලබාදුන් මෙම තීරණය යළිත් සලකා බලන ලෙස පසුගිය වසරේදී අභියාචනයක් ඉදිරිපත් කළ අතර, මේ මොහොතේදී ප්‍රතික්ෂේප වී ඇත්තේ එම අභියාචනයයි.

ඒ අනුව සමාගමට අදාළ කාන්තාව වෙත ඩොලර් බිලියන 2.1ක වන්දි මුදලක් ගෙවීමට අනිවාර්යයෙන්ම සිදුව තිබේ.

මෙම චෝදනාව සහ අධිකරණ තීන්දුව ඉදිරිපත් වීමෙන් අනතුරුව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම සිය ‘ජොන්සන්’ස් බේබි පවුඩර්’ පුයර වෙළෙඳ නාමය ආරක්ෂා කරගැනීම සඳහා බොහෝ පියවර රැසක්ම ගැනීමට පියවර ගෙන තිබේ.

ඒ අතරතුරදීම ඔවුන් පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජනපදයෙන් සහ කැනඩාවෙන් සිය ළදරුවන් සඳහා වන පුයර නිෂ්පාදන වෙළෙඳ පොළ තුළ අලෙවිය ඉවත් කිරීමට තීරණය කර තිබේ.

මෙම පුයර වර්ග නිෂ්පාදනයට ගන්නා ටැල්ක් යනු පෘථිවිය මත ස්වාභාවිකව හමුවන ඛනිජ ද්‍රව්‍යයකි. එය ඇස්බැස්ටෝස් හා ඉතාමත් සමීප ලක්ෂණයන්ගෙන් යුක්ත වෙයි. එහෙත් ඇස්බැස්ටෝස් යනු අධික පිළිකාකාරක ද්‍රව්‍යයකි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට මේ දක්වා ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පුද්ගලයෝ 20,000කට අධික පිරිසක් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

එක්සත් ජනපදයේ සහ කැනඩාවේ අලෙවියෙන් ඉවත් කෙරුණද තවමත් ලොව බොහෝ රටවල් තුළ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ළදරු පුයර නිෂ්පාදන ‘ජොන්සන්’ස් බේබි පවුඩර්’  ලෙස අලෙවි වෙමින් පවතින බවත් සඳහන් වෙයි. එසේම එම රටවල සිය නිෂ්පාදන වෙත ඉහළ ඉල්ලුමක් පවතින බවද සමාගම සඳහන් කරයි.

2019 වසරේ සිට ශ්‍රී ලංකාවද මෙම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ළදරු පවුඩර් නිෂ්පාදන ආනයනය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.

Visits: 197