සෙලෙන්දිව සමාගමේ ක්‍රමෝපාය රාමුවට කැබිනට් අනුමැතිය, ලැයිස්තුගතවීමත් නුදුරේදීම

රජය සතු සත්කාරක සේවා ආයතන තුනක් සෙලෙන්දිව ආයෝජන සමාගම නමින් තනි සමාගමක් යටතට පත් කරමින් ඒ සඳහා ක්‍රියාත්මත කිරීමට යෝජනා කර ඇති ක්‍රමෝපාය සහ ප්‍රතිපත්ති රාමුවට අනුමැතිය ලබා දුන් බව පසුගියදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේදී අනාවරණය කෙරිණි.

මෙම සෙලෙන්දිව ආයෝජන සමාගම විසින් රජය සතුව පවතින හඳුනාගත් ආයතන සහ ආයෝජකයන් සඳහා පහසුකම් සැලසීම පිණිස පුද්ගලික-රාජ්‍ය හවුල්කාරීත්ව පදනම යටතේ ආයෝජන පහසුකම් සැලසීමේ ආකෘතියක් සැලසුම් කර ඇතැයි පවසයි.

ඒ යටතේ ‘කොළඹ කොටුව Heritage Square’, ‘නිශ්චල දේපළ සංවර්ධන’ සහ ‘රජයට අයත් සත්කාරක අංශය’ වශයෙන් ආයෝජන කළඹ තුනක් ක්‍රියාත්මක කිරීමට හඳුනාගෙන ඇත.

ඊට අවශ්‍ය පියවර ගැනීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අගමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

රජය සතු සත්කාරක සේවාවන්හි නිරත ආයතන ඇතුළත් ආයෝජනයන් ප්‍රතිව්‍යුහගත කරමින් ඒවායේ කාර්යසාධනය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම සෙලෙන්දිය ආයෝජන සමාගම ස්ථාපිත කෙරිණි. ඒ අනුව රාජ්‍ය හිමිකාරීත්වයෙන් යුත් දේපළ සංවර්ධන සමාගමක් ලෙස එම සමාගම ස්ථාපිත කිරීමට 2020 මාර්තු 04 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දීම සිදු විය.

එහි ප්‍රතිඵලයක් ලෙස 100%ක් භාණ්ඩාගාරයට හිමිකාරීත්වය සහිතව සෙලෙන්දිව ආයෝජන සමාගම ස්ථාපිත කර තිබේ. මෙහිදී රජය සතු කැන්විල් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම, හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) සමාගම සහ හොටෙල් කලම්බු යන සමාගම් මේ වනවිට එම සෙලෙන්දිව ආයෝජන සමාගම යටතට පත්කර තිබේ.

වර්තමානයේදී මෙම සෙලෙන්දිව ආයෝජන සමාගමේ ප්‍රධානියා වන්නේ නාගරික සංවර්ධන අධීකාරියේ හිටපු සභාපති නිමල් පෙරේරා මහතාය.

මෙම ආයෝජන සමාගම හරහා මෙතෙක් පහළ කාර්යසාධනයක් සහිත රජයට අයත් වත්කම් ලාභදායී සහ වෙළෙඳ පොළ වටිනාකමක් සහිත වත්කම් බවට පත් කිරීම අරමුණ වී තිබේ.

මේ අතර ඉහත සඳහන් කළ හෝටල් දේපළ තුනද සමගින් සෙලෙන්දිව ආයෝජන සමාගම මේ වසර තුළදී කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමටද භාණ්ඩාගාරය සැලසුම් කර සිටින බවත් පැවසෙයි.

Visits: 389