සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් වෙතින් රු. බිලියන 2.2 ක් හිමිකම් කොටස් නිකුතුවක්

සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී හි අනුබද්ධ සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී, තම ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගැනීමේ අරමුණින් රු. බිලියන 2.2 ක හිමිකම් කොටස් නිකුතුවක් සිදුකිරීම සඳහා සැලසුම් කර තිබේ. මෙම හිමිකම් නිකුතුව යටතේ, දැනට කොටස් හිමිකරුවන් සතුව පවතින සාමාන්‍ය කොටස් 6 කට නව සාමාන්‍ය කොටස් 5 ක් වශයෙන්, එක් නව කොටසක් රු. 10/- බැගින් නිකුත් කරනු ඇත.

මෙම කොටස් නිකුතුව මගින්, සමාගමේ අනාගත ව්‍යාපාර පුළුල් කිරීමේ ක්‍රමෝපායික සැලසුම මත පදනම්ව, 2018 අංක 03 දරන මූල්‍ය ව්‍යාපාර පනත මගින් නියම කර ඇති සහ, 2020 අප්‍රේල් 12 දාතමින් යුතුව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතනයේ අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනයට අනුකූලව, 2022 ජූලි 01 දින වනවිට පැවතිය යුතු ප්‍රාග්ධන සප්‍රමාණතා අවශ්‍යතාව සපුරාලන ආකාරයට සමාගමේ පළමු පෙළ ප්‍රාග්ධනය (Tier 1 Capital) ශක්තිමත් කරනු ඇත.

මෙම අරමුදල් ලීසිං සහ උකස් සේවා සම්බන්ධ විශේෂ අවධානයක් සමගින්, සිය සුරක්ෂිත ණය සේවා එකතුවේ වර්ධනය වේගවත් කිරීම සඳහා යෙදවීමට සමාගම අපේක්ෂා කරයි. පසුගිය මූල්‍ය වර්ෂය තුළ සමාගමේ කළමනාකාරීත්වය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව, සිය වර්ධනය තවදුරටත් ශක්තිමත් කිරීමට සහ, අංශ කිහිපයක් ඔස්සේ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට සමාගම සැලසුම් කර ඇත. තාක්ෂණය මූලික කරගත් කැපීපෙනෙන ක්‍රමෝපායක් සමගින්, සමාගමේ ප්‍රධාන ව්‍යාපාර අංශ පසුගිය වසර වලට සාපේක්ෂව ඉදිරියේදී පැහැදිලි වර්ධනයක් අත්කරගනු ඇතැයි අපේක්ෂිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත විජේසේකර මහතා මෙසේ පැවසී ය. “දීර්ඝ කාලයක් තිස්සේ පැවති වසංගත තත්ත්වයේ බලපෑම් වලින් මිදෙමින් සිටින මේ අවස්ථාවේදී, පවතින අවිනිශ්චිත තත්ත්වයන් හමුවේ පවා, ලීසිං සේවා සහ උකස් සේවා වැනි සුරක්ෂිත ණය සේවා කෙරෙහි දැඩි අවධානයක් යොමුකරමින්, ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සම්බන්ධයෙන් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම සුභවාදී ආකල්පයක සිටිනවා. සොෆ්ට්ලොජික් සමූහය යනු මෙම වසංගත රෝග ව්‍යාප්තිය හමුවේ ඇති වූ තත්ත්වයන්ට සාර්ථක ලෙස මුහුණ දීමට සමත් වූ ප්‍රමුඛතම සමාගම් 10 අතරින් එකක්. මේ සාර්ථකත්වය ඔස්සේ ක්ෂේත්‍රය තුළ නොමැකෙන සලකුණක් සනිටුහන් කරමින්, අනාගතයට ගැළපෙන ක්‍රමෝපායක් ඔස්සේ, අපගේ ගනුදෙනුකරුවන් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ට විශිෂ්ටතම ප්‍රතිලාභ හා වටිනාකම් ලබාදීමට අපි අපේක්ෂා කරනවා.”

එකක් රු. 10/- බැගින් වන සාමාන්‍ය කොටස් 223,966,774 ක් නිකුත් කරනු ලබන මෙම කොටස් නිකුතුවත් සමග සමාගමේ නිකුත් කළ කොටස් ප්‍රාග්ධනය රු. 2,239,667,740/- කින් වර්ධනය වනු ඇත. නව සාමාන්‍ය කොටස් කොළඹ කොටස් නිකුතුවේ දිරි සවි පුවරුවේ ලැයිස්තුගත කෙරේ.

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමූහය සෞඛ්‍යාරක්ෂණ, පාරිභෝගික, තොරතුරු සන්නිවේදන තාක්ෂණ, සංචාරක, රථ වාහන හා අවන්හල් ඇතුළු ව්‍යාපාර ක්ෂේත්‍ර රැසකම ක්‍රියාත්මක වේ. 2011 අංක 42 දරන මුල්‍ය ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි මුල්‍ය සමාගමක්වන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී, 2000 අංක 56 දරන මුල්‍ය කල්බදු පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී විශේෂඥ කල්බදු සමාගමක් ද වෙයි.

Visits: 135