2021 වඩාත් වටිනාම වෙළෙඳ නාම අතරට ‘ලංකා සතොසත්’

ජාත්‍යන්තර බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ මෙරට නියෝජිත ආයතනය වන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා මගින් පසුගියදා ප්‍රසිද්ධියට පත් කරන ලද 2021 වසරේ වඩාත් වටිනාම පාරිභෝගික වෙළෙඳ නාම 100 අතරට මෙතෙක් ඒ සඳහා ඇතුළත් නොවූ වෙළෙඳ නාම 9ක්ද ඇතුළත්ව තිබේ. එහිදී ඉන් තුනක්ම රජයට අයත් ව්‍යවසායන් වීමත් කැපී පෙනෙයි.

බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා මගින් සිදු කළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඉදිරිපත් වූ මෙම වර්ගීකරණයන් සටහන් කරමින් මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික සඟරාවක් වන LMD මගින් ප්‍රකාශයට පත් කෙරුණු Brands Annual සඟරාව තුළ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

ඒ අනුව මෙලෙස 2021 වසරේ වඩාත් වටිනාම පාරිභෝගික වෙළෙඳ නාම අතරට රජයට අයත් සුපිරි වෙළෙඳ සැල් ජාලයක් වන ලංකා සතොසත් පත්ව තිබීම විශේෂත්වයකි. එහිදී 2021 වර්ගීකරණයේ ලංකා සතොස 22 වැනි ස්ථානය හිමි කර ගෙන ඇත. මෙම ස්ථානය හිමි කරගැනීම සඳහා ලංකා සතොස සමාගමේ වෙළෙඳ නාම වටිනාකම රුපියල් මිලියන 6,376.18 ක් ලෙස සටහන් කර ඇතැයිද බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා ආයතනය පවසා සිටියි.

“සතොස ආයතනයේ වටිනාකම් ගණනය වීම පළමු වතාවට සිදු ව තිබෙනවා. ඒ අනුව එය සුපිරි වෙළෙඳ සැල් අංශයේ තෙවැනි වටිනාම වෙළෙඳ නාමය බවට පත්වෙලා. එහිදී සන්නාමයේ ශක්තිමත් බව තුළ යම් දුර්වලතාවක් පැවතුණද, එය ආර්පිකෝ සුපර්සෙන්ටර් අලෙවිසැල් ජාලය අභිබවමින් ඉදිරියට ඒමට සමත්ව තිබෙනවා. එහිදී COVID-19 වසංගත සමයේදී ඉන් වඩාත් හොඳ ප්‍රතිචාරයක් දැක්වීම ඊට හේතුවයි.” බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා පවසයි.

විශේෂයෙන්ම මෙරට මුල් පෙළේපෞද්ගලික සුපිරි වෙළෙඳ සැල් වෙළෙඳ නාම වන කීල්ස් සහ කාර්ගිල්ස් තවමත් ඔවුන්ගේ අන්තර්ජාල අලෙවි වේදිකා අංග සම්පූර්ණව පවත්වාගෙන යාමට අපොහොසත් වී සිටීමත්, සතොස ආයතනය PickMe සමගින් එක්ව කොළඹ නගරය තුළ භාණ්ඩ නිවෙස් වෙත බෙදාහැරීමට කටයුතු යෙදීම වඩාත් පාරිභෝගික කේන්ද්‍රගත වෙළෙඳ නාමයක් බවට පත්වීමට හේතුවක් වී තිබෙන බවත් බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා සඳහන් කරයි.

මීට අමතරව තවත් වෙළෙඳ නාම අටක් මෙම වර්ගීකරණය සඳහා අලුතින් ඇතුළත්ව ඇත. ඒ අතරින් පළමු ස්ථානය හිමි කරගෙන ඇත්තේ ශ්‍රීලංකා ටෙලිකොම්-මොබිටෙල් සමාගමයි. ශ්‍රී ලංකා රජයට අයත් ව්‍යවසායක් ලෙස සටහන්ව ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල් මෙවර වර්ගීකරණයේ 9 වැනි ස්ථානයේ පසුවෙයි. එහිදී එම සමාගමේ වෙළෙඳනාමය හිමි කරගෙන ඇති වටිනාකම රුපියල් මිලියන 22,301.79 කි.

මෙවර වඩාත් වටිනාකම පාරිභෝගික වෙළෙඳ නාම වර්ගීකරණයේ 41 වැනි ස්ථානයේ පසුවන හච් සමාගමත් ඊට ඇතුළත් වූ අලුත්ම වෙළෙඳ නාමයකි. එහිදී එම වෙළෙඳ නාමයේ වටිනාකම රුපියල් මිලියන 2,474.83ක් ලෙස සටහන්ව ඇත.

වර්ගීකරණයේ 50 වැනි ස්ථානයට පත්ව ඇති එච්එන්බී ෆිනෑන්ස් සමාගමත් අලුතින්ම ඊට එක් වූ වෙළෙඳ නාමයකි. එහිදී එහි වටිනාකම රුපියල් මිලියන 1,818.59ක් බවට පත්ව ඇත.

වර්ගීකරණයේ 70 වැනි ස්ථානයට පත්ව ඇති බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා හිමිව ඇති වෙළෙඳනාම වටිනාකම රුපියල් මිලියන 864.80 කි. එයද මෙම වර්ගීකරණයට ඇතුළත් වූ රාජ්‍ය ව්‍යවසායකි.

වර්ගීකරණයේ 90 වැනි ස්ථානයේ පසුවන කන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් සමාගමේ වෙළෙඳ නාම වටිනාකම රුපියල් මිලියන 434.89 කි. එසේම වර්ගීකරණයේ පිළිවෙළින් 93 වැනි සහ 94 ස්ථානයේ පසුවන කාර්ගිල්ස් බැංකුව සහ එල්ඕඑල්සී ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම් පිළිවෙලින් රුපියල් මිලියන 359.89ක සහ රුපියල් මිලියන 322.12ක වෙළෙඳ නාම වටිනාකම් සටහන් කර ඇත.

මෙම වර්ගීකරණයේ 99 වැනි ස්ථානයේ පසුවන එල්ඕඑල්සී ලයිෆ් ජීවිත රක්ෂණ සමාගමද මෙම වර්ගීකරණය සඳහා අලුතින් එක් වූ සමාගමකි. එහි වෙළෙඳ නාම වටිනාකම රුපියල් මිලියන 247.63 ක් ලෙස සටහන්ව ඇත.

Visits: 102