අප්‍රේල් මාසයේදී උද්ධමනය ඉහළට

2021 අප්‍රේල් මාසයේදී මෙරට උද්ධමනය 5.5%ක් ලෙස සටහන් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සංඛ්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එය පසුගිය 2021 මාර්තු මාසයේදී වාර්තා වූ 5.1% උද්ධමනයට සාපේක්ෂව යම් ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි 2013=100 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මෙම මතුපිට උද්ධමනය මනිනු ලබයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් මෙම ගණනය කිරීම් සිදු කරයි.

ඒ අනුව 2021 අප්‍රේල් මාසයේ පැවැති පහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මෙලෙස උද්ධමනය ඉහළ යාම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූ බව මහ බැංකුව පවසයි.

එහිදී ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 මාර්තු මාසයේ පැවැති 8.8% සිට 2021 අප්‍රේල් මාසයේදී 9.7%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2021 මාර්තු මාසයේදී පැවැති 2.0% සිට අප්‍රේල් මාසයේදී 2.2%ක් දක්වා ඉහළ ගොස් ඇත.

ආහාර කාණ්ඩය යටතේ ප්‍රධාන වශයෙන් පොල්තෙල්, නැවුම් මත්ස්‍ය සහ පළතුරු මිල ගණන්වල ඉහළ යෑමක් දක්නට ලැබී තිබේ. එහෙත් මාසය තුළදී පොල් සහ එළවලු මිල ගණන් පහළ යෑමක් වාර්තා වී ඇත.

එසේම රෙදිපිළි සහ පාවහන්, ප්‍රවාහන (ලිහිසි තෙල්) සහ විවිධ භාණ්ඩසහ සේවා (කොණ්ඩා සහ රැවුල කැපීමේ ගාස්තු) උප කාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් අප්‍රේල් මාසයේදී වාර්තා වී තිබේ.

Visits: 91