ඩයලොග් ආසිආටා ශත 74 බැගින් ලාභාංශ ගෙවීම ජූලි 15දා

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සිය කොටස්හිමිකරුවන් සඳහා යෝජනා කර තිබූ ශත 74 බැගින් ලාභාංශ ගෙවීම සඳහා වන දිනයක් ප්‍රකාශ කර ඇතැයි පවසයි. පසුගියදා පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ දිනය පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව ලබන ජූලි 15 වැනිදා මෙම ලාභාංශ ගෙවන දිනය ලෙසට ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස ජූනි 25 වැනිදා නම් කෙරී ඇත.

මෙය 2020 මූල්‍යවර්ෂය සඳහා සිදුකරන අවසන් ලාභාංශ ගෙවීම බව ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙහිදී ඩයලොග් ආසිආටා පීඑල්සී සමගින් දැනට නිකුත් කර ඇති සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් සඳහාම ශත 74ක් බැගින් ලාභාංශ ගෙවීමට මෙහිදී යෝජනා කෙරී ඇත.

මේ අතර අදාළ ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත්, ඒ සඳහා වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූනි 23 වැනිදා පැවැත්වීමට කටයුතු යොදන බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ කොටසක මිල රුපියල් 12.80ක් බවට පත්ව තිබූ අතර එය ඊට පෙර දිනයේ කොටසක වටිනාකම ලෙස සටහන් වූ රුපියල් 12.70ට සාපේක්ෂව ශත 10ක එනම් 0.79% ක ඉහළ යාමකි.

Visits: 135