ලංකා අයිඕසී ශත 85 බැගින් ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා අයිඕසී පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම ශත 85 බැගින් ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කරයි.

මෙය 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා වන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම ලෙසද ලංකා අයිඕසී පීඑල්සී පවසයි.

කෙසේ වෙතත් තවමත් මෙම ලාභාංශ ගෙවීම පිළිබඳ දිනයක් ප්‍රකාශයට පත් කෙරී නැති අතර, ලාභාංශ රහිත දිනයක්ද මෙතෙක් නම් කර නැත.

ලංකා අයිඕසී සමාගම අවසන් වරට ලාභාංශ ගෙවීමක් සිදු කර තිබුණේ 2020 නොවැම්බර් මාසයේදීය. එම අවස්ථාවේදී කොටසකට ශත 75 බැගින් ලාභාංශ ගෙවීම සිදු කර තිබුණි.

මේ අතර ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ලංකා අයිඕසී පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 19.30ක් ලෙස සටහන්ව තිබුණි. එය ඊට පෙර දිනයේදී සමාගමේ කොටසක වටිනාම වූ රුපියල් 18.90ට සාපේක්ෂව ශත 40ක එනම් 2.12%ක ඉහළ යාමකි.

Visits: 106