ක්‍රිස්වර්ල්ඩ් දැක්වූ සාර්ථකත්වය දර්ශක අගයන් ඉහළ නංවයි

අද (මැයි 18) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අතරතුරදී වාර්තා වූ කොළඹ වරාය නගරයේ විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ නිවේදනයත් සමගින්ම පෙන්නුම් කළ කලබලකාරී කොටස් අලෙවිය නිසා දර්ශක අගයන් යම් පසුබැසීමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහෙත් පසුව රජය විසින් ඒ පිළිබඳව කරුණූ පැහැදිලි කිරිමත් සමගින්ම ආයෝජකයන් තුළ ඒ පිළිබඳව වන පැහැදීමක් දැකගත හැකි වී තිබේ.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගත වූ ක්‍රිස්වර්ල්ඩ් ලිමිටඩ් සමාගම කැපී පෙනෙන ලෙස ආයෝජක ආකර්ෂණයක් හිමිකරගැනීමට සමත් වූ අතර, දිනය නිමාවේදී එහි කොටස් වටිනාකම් 128%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එහිදී දිනය තුළ ගනුදෙනු වනු ඇතැයි බලාපොරොත්තු වූ සමාගමේ කොටස් මිලියන 7.5ක ප්‍රමාණය අවසානයේදී කොටස් මිලියන 18ක් ලෙස 2.4 ගුණයකින් ඉහළ යාමක් වාර්තා කර ඇතැයිද තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

මේ කරුණු සියල්ලම අද දිනයේදී දර්ශක අගයන් තවදුරටත් ඉහළ නැංවිමට දායකත්වය ලබා දී ඇත.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,305.43ත් ඒකක 7,361.92ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,355.14ක් බවට පත්විය. එය ඊයේ (මැයි 17දා) දිනයට සාපේක්ෂව ඒකක 5.00ක් එනම් +0.07%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව ටීජේලංකා පීඑල්සී, ඩයලොග් ආසිආටා පීඑල්සී, හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සිදු කළ ගනුදෙනු පිරිවැටුමෙන් 24.6%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 76ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 87ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+3.82), ශ්‍රි ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+3.27), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+3.01), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+2.99), කොමර්ෂල් බැංකුව COMB (+1.53), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-5.65), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.26), බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (-2.53), එස්එම්බී ලීසිං පීඑල්සී SEMB (-1.62), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-1.45) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,956.04ක අගයක් ගත් අතර, එය ඊයේ (17දා) ‍ට සාපේක්ෂව ඒකක 14.97 ක එනම් +0.51%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.67ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (17දා) වාර්තා කළ රුපියල් බිලියන 2.78ට සාපේක්ෂව 2.5% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්වූ අතර, පෙර දිනයට සාපේක්ෂව විදේශීයමිලදී ගැනීම් නව ගුණයකින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.25ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 9.62%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 698.68ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 511.92ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 186.77කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 24.43ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 184.85 කි. එසේම සිලෝන් කෝල්ඩ් ස්ටොර්ස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 14.22ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 580ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 22% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රවාහන සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 467ක සහ රුපියල් මිලියන 435ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 412