කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් පනත සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයක්?

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් සභා පනත් කෙටුම්පත තුළ ඇති වගන්ති කොටස් 8ක ඇතුළත් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොගැලපෙන බවත්, ඒවා සංශෝධනය නොකර එම කෙටුම්පත සම්මත කර ගැනීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්යය බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායකවරයා අද පාර්ලිමේන්තුව හමුවේ පැවසීය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ගෙන ඇති තීරණයට අදාළව පාර්ලිමේන්තුව වෙත එවා ඇති නිර්දේශ අද දිනයේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරමින් කතානායකවරයා මේ බව පවසා තිබේ.

ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම පනත් කෙටුම්පතේ වගන්ති කොටස් 08ක ඇතුළත් කර ඇති විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වන (නොගැළපෙන) බව දන්වා ඇති ශ්‍රේෂ්ඨාධීකරණය එම අනනුකූල බව මගහරවා ගත හැකි නිර්දේශ  මෙලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එවා ඇත.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකර ඇති නිර්දේශ පනත් කෙටුම්පතට ඇතුළත් කර ඒවා සංශෝධනය කරන්නේ නම් එම අනනුකූලතාවයන් ඉවත්ව යනු ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයා වෙත දැනුම් දී තිබේ.

එසේම එම ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයේ සදහන් පරිදි අදාළ වගන්ති සංශෝධනය නොකරන්නේ නම් පමණක් එම විධිවිධාන සම්මත කළ හැකි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවෙහි විධිවිධාන සලසා ඇති පරිදි පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කිරීම මගින් පමණක් යැයිද ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී දන්වා ඇත.

මෙයට අමතරව සංශෝධන සිදුකළ යුතු යැයි සදහන් වගන්ති කොටස් 08න් 03 ක් විශේෂ බහුතරයකින් සම්මත කිරීමට අමතරව 83 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතු යැයිද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ දන්වා ඇත.

Visits: 279