කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් ලාභාංශ නිවේදනය කොටස් වටිනාකම ඉහළ දමයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කිරීමත් සමගින්ම ඊයේ දිනයේදී එහි කොටසක වටිනාකම ඉහළ යාමක් දැකගත හැකි විය.

ආසන්නතම ලාභාංශ නිකුත් කිරීම් අතරතුරදී සමාගමක කොටස් වටිනාකම් කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අවස්ථාවක් ලෙසද කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් කොටස් වටිනාකම්හි ඉහළ යාම පෙන්වා දිය හැකි බව වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ සඳහන් කරති.

ඒ අනුව ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී කැලනි වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 41.00 ක් ලෙස සටහන්ව තිබුණී. එය ඊට පෙර දිනය නිමාවේදී කොටසක් සඳහා වාර්තා වූ රුපියල් 38.40ක වටිනාකමට සාපේක්ෂව රුපියල් 2.60ක එනම් 6.77%ක ඉහළ යාමකි.

කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් සමාගම මගින් ලබා ගෙන ඇති මෙම ලාභාංශ ගෙවීම පිළිබඳ තීරණය පසුගියදා 12වැනිදා නිවේදනය කෙරිණි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.50 බැගින් ලාභාංශ ගෙවීමට සමාගම තීරණය කර තිබේ.

මෙය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා වන අවසන් ලාභාංශ ගෙවීම බවද සමාගම සඳහන් කරයි.

ලබන ජූලි 13 වැනිදා මෙම ලාභාංශ ගෙවන දිනය ලෙස ප්‍රකාශ කෙරී ඇත. එසේම ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන ජූනි 28 වැනිදා නම් කෙරී තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවීම අනිවාර්යය වී ඇති අතර, ඒ සඳහා වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූනි 25 වැනිදා පැවැත්වෙන බවත් කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

Visits: 291