“වසංගතය හමුවේ ඖෂධ සැපයීම අඛණ්ඩව” – ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයෙන් සහතිකයක්

කොවිඞ්-19 වසංගත තත්වය හමුවේ ඖෂධ සැපයීම අඛණ්ඩව පවත්වා ගෙන යන බව සහතික වන බව ශ්‍රි ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය පවසයි. එසේම වසංගතය පාලනය කිරීම සඳහා අදාල බලධාරීන් සමඟ කටයුතු කිරීමේදී සිය සාමාජිකයින් ලබා දෙන සහාය හා කැපවීමද එම සංසදය යළිත් අවධාරණය කර සිටී.

වර්තමානයේදී ප‍්‍රධාන ඖෂධ ආනයන සමාගම් 60 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය (SLCPI) මෙරට ඖෂධ වෙළෙඳපොලේ 85%කට වැඩි දායකත්වයක් ලබා දෙයි.

විශේෂයෙන්ම වත්මන් කොවිඞ්-19 වසංගත තත්වය හමුවේ ඖෂධ ගබඩාවලින් ප‍්‍රමාණවත් ඖෂධ තොග සැපයීම අඛණ්ඩව සිදු කරන බවත්, කිසිඳු ඖෂධ හිඟයක් නොමැති බවත් එම සංසදය මහජනතාවට සහතික කර සිටියි.

තවද ඖෂධ හිඟයක් ඇති විය හැකි බවට අනිසි බියක් හා කලබලයක් ඇති නොකර ගත යුතු බවත්, අඛණ්ඩ ඖෂධ සැපයුම් දාමයක් පවත්වා ගැනීම සහතික කිරීම සඳහා අදාල පාර්ශවකරුවන් සමඟ කටයුතු කරන බව ද SLCPI පවසයි..

‘‘ඉන්දියාවේ හා වෙනත් රටවල සිටින අපගේ ඖෂධ නිෂ්පාදන හවුල්කරුවන් හා ප‍්‍රධාන සමාගම්වලට අප ලබා දී ඇති ඖෂධ ඇණවුම් මේ වන විට සම්පූර්ණ වෙමින් තිබෙන අතර අපගේ පාරිභෝගිකයින්ට බාධාවකින් තොරව ගුණාත්මකභාවයෙන් යුතු ඖෂධ අඛණ්ඩව ලබා ගත හැකි බවට අපට සහතික විය හැකියි. අපගේ සාමාජිතකත්වය අප සතු ඖෂධ ගබඩා හා ලබා දී ඇති ඖෂධ ඇණවුම් පිළිබඳව ඉතා සමීපව අධික්ෂණය කරනවා.’’ යනුවෙන් ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය සඳහන් කළේය.

විශේෂයෙන්ම බෝ නොවන රෝග (NCDs) කාණ්ඩයේ සිටින පුද්ගලයින්ගේ අවශ්‍යතා සඳහා ප‍්‍රමුඛත්වය ලබා දෙන බව ඔවුන් නැවතත් අවධාරණය කරයි.

‘‘ලොව පුරා ඇති ප‍්‍රමුඛ පෙළේ ඖෂධ සමාගම් ඇතුළුව සියලූම වැදගත් පාර්ශවයන් හා සැපයුම් දාම සමඟ එක්ව කටයුතු කිරීම තුළින් අඛණ්ඩව ඖෂධ සැපයුම් දාම පවත්වා ගෙන යන බවත් කිසිඳු ඖෂධ හිඟයක් නොමැති බව සහතික කිරීම සඳහා පියවර ගැනීමට SLCPI සාමාජිකත්වය කැපවී කටයුතු කරනවා.’’ යනුවෙන් SLCPI සඳහන් කරයි.

ඒ අනුව ඖෂධ අවශ්‍ය පුද්ගලයින්ට ඒවා අඛණ්ඩව ඔවුන්ගේ අතට පත් කිරීමට හැකි බව සහතික විය හැකි අතර, මේ අවස්ථාවේදී ඉතා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම සංසදය වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 49