ශ්‍රීලංකන් කෙයාර්ස් වෙතින් ජාතික රෝහලට කෘතිම ශ්වසන යන්ත්‍ර ප්‍රදානයක්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් පසුගියදා කොළඹ ජාතික රෝහල වෙත කෘතිම ශ්වසන යන්ත්‍ර ලබා දීමක් සිදුකළ බව පවසයි.

දිවයිනේ ප්‍රධාන ප්‍රතිකාර මධ්‍යස්ථානය වල COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමක් දක්නට ලැබෙන විට, රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ප්‍රමාණවත් සම්පත් නොතිබීමේ අභියෝගයට ජාතික රෝහල මුහුණ දී සිටියි.

වර්තමාන වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා රටේ සෞඛ්‍ය අංශය විසින් කරන ලද විශිෂ්ට සේවයට උපහාරයක් ලෙස ශ්‍රීලංකන් කෙයාර්ස් මේ ආකාරයෙන් සිය සහයෝගය ලබා දුන් බව ශ්‍රීලංකන් කෙයාර්ස් පවසයි.

මෙම පරිත්‍යාගය සඳහා අරමුදල් සපයනු ලැබුවේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ දායකත්වයෙනි. ඔවුන් ගුවන් සේවය මුහුණ දී ඇති අනිවාර්ය වැටුප් අඩුකිරීම් හේතුවෙන් ඇති වන අභියෝග සහ දුෂ්කරතා මධ්‍යයේ වුවද මෙවැනි ජාතික ප්‍රයත්නයක් ඉටු කිරීමට අත්වැල් බැඳ ගෙන තිබේ.

Visits: 22