වටවල වැවිලි සමාගම දකුණු පළාත් ජනතාවගේ ජීවන තත්ත්වය තවදුරටත් ඉහළ නංවයි

දකුණු පළාත තුළ සමාජ හා ආර්ථික සංවර්ධනය වෙනුවෙන් අඛණ්ඩව කැපවී සිටින ශ‍්‍රී ලංකාවේ කෘෂි ව්‍යාපාර සමාගමක් වන වටවල වැවිලි සමාගම පසුගියදා ගාල්ල, උඩුගම, කොටවෙල ගම්මානයේ ජනතාවගේ ජීවන තත්වයන් ඉහළ නැංවීමට පියවර ගත් බව පවසයි.

ඒ ඔවුන් වෙනුවෙන් බෙහෙත් ශාලාවක්, ඩිජිටල් ඉගෙනුම් පහසුකම් සහිත අංග සම්පූර්ණ පෙර පාසලක් මෙන්ම ක‍්‍රීඩා උපකරණද පරිත්‍යාග කරමිනි.

මෙම බෙහෙත් ශාලාව හා අංග සම්පූර්ණ පෙර පාසල නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉසුරු දොඩංගොඩ, වටවල වැවිලි සමාගමේ අධ්‍යක්ෂ විශ් ගෝවින්දසාමි, ප‍්‍රධාන විධායක නිළධාරී බිනේෂ් පනන්වල, වටවල වැවිලි සමාගමේ ගාල්ල දිස්ත‍්‍රික් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධනුෂ්ක දස්වත්ත යන මහත්වරුන්, රාජ්‍ය ආයතන නිළධාරීන් මෙන්ම වටවල වැවිලි සමාගමේ සාමාජික සාමාජිකාවන් එක්ව සිට ඇත..

වටවල වැවිලි සමාගමේ වටවල කළණ මිතුරු සමාජ සුභසාධන වැඩසටහනෙහි තවත් පියවරක් වන මෙම ව්‍යාපෘතිය තුළින් පවුල් 678ක 2500කට වැඩි ගම් වැසියන් පිරිසක් වෙත නොමිලේ සෞඛ්‍ය සේවාවන් සහ අධ්‍යාපන පහසුකම් සලසා දීමට අපේක්ෂිතය.

මේ අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ‘‘වැවිලි ක්ෂේත‍්‍රය හා සම්බන්ධ විවිධ පාර්ශවකරුවන්ගේ ජීවන තත්වයන් නගා සිටුවීම සඳහා නිරන්තරයෙන් කැප වන ප‍්‍රමුඛ පෙළේ සමාගමක් ලෙස වටවල වැවිලි සමාගම පෙන්වා දිය හැකියි. වසර ගණනාවක් තිස්සේ රජයට සහයෝගය ලබා දෙමින්, මේ ප‍්‍රදේශය තුළ මෙන්ම ශ‍්‍රී ලංකාව පුරා විවිධාකාරයේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය ලබා දී තිබෙනවා. වැවිලි සමාගමේ සංවර්ධනය වෙනුවෙන් එම සමාගම විසින් වාර්ෂිකව විශාල මුදලක් ආයෝජනය කිරීමට කටයුතු යොදා තිබෙන අතර ඒ නිසාම ඔවුන් ශ‍්‍රී ලංකාවේ වැවිලි සමාගම් 23 අතර ඉහළම වැවිලි සමාගමක් ලෙස පිළිගැනීමට ලක්ව තිබෙන බව සතුටින් සඳහන් කළ යුතුයි.’’ යනුවෙන් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ වටවල වැවිලි සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී බිනේෂ් පනන්වල මහතා ‘‘මෙරට වගකිවයුතු කෘෂි ව්‍යාපාර සමාගමක් ලෙස අප නිරන්තරයෙන් වතු ප‍්‍රජාව හා සම්බන්ධ ඍජු හා වක‍්‍ර පාර්ශවකරුවන්ගේ ජීවන  තත්වය ඉහළ නැංවීම වෙනුවෙන් මේ ආකාරයේ සුභසාධන වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී නව බෙහෙත් ශාලාවක් හා පෙර පාසලක් ඉදිකිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒ අනුව එම යෝජනාව ඉතා උනන්දුවෙන් භාර ගනිමින් අදාළ ඉදිකිරීම් සිදු කිරීමට අප කටයුතු කළා. අද අප ජනතා අයිතියට පත් කරන්නේ ඒ යෝජනාවේ ප‍්‍රතිඵලයයි.’’ යනුවෙන් සඳහන් කළේය.

මෙම සමාජ සුභසාධන වැඩසටහන තුළින් අධ්‍යාපන, සෞඛ්‍ය සේවා, ක‍්‍රීඩා, ජීවන කුසලතා හා මග පෙන්වීම් සහ ජීවන තත්වයන් යනාදී අංශ 5ක් යටතේ කොතලාවල ගම සංවර්ධනය කරමින් එය ගාල්ල දිස්ත‍්‍රික්කයේ ආදර්ශ ගම්මානයක් බවට පත් කිරීම වටවල වැවිලි සමාගමේ අරමුණයි.

සමාගමෙහි මධ්‍යකාලීන වැඩසටහනක් ලෙස කොතලාවල ගම්මානයේ දරුවන්ට වොලිබෝල් සහ මේස පන්දු වැනි ක‍්‍රීඩාවල නියැලීමට මෙන්ම තරග සඳහා සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙමින් ශක්තිමත් ක‍්‍රීඩා වැඩසටහනක කොටසක් පවත්වාගෙන යාමටද වටවල වැවිලි සමාගම කටයුතු කර ඇත.

තවද ගම්වාසීන්ගේ බලාපොරොත්තු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් ඒවා දිරි ගැන්වීම හා ඊට අවශ්‍ය ශක්තිය ලබා දීම වෙනුවෙන් ජීවන හා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක්ද සමාගම මගින් ක‍්‍රියාත්මක කරනු ලබයි. එහිදී දිගු කාලීන ඉලක්කයක් ලෙස ප‍්‍රදේශයේ ජනතාවගේ ජීවිත ආර්ථිකමය වශයෙන් නගා සිටුවීම සඳහා කාබනික ගොවිතැන සම්බන්ධ වැඩසටහනක් දියත් කිරීමද වටවල වැවිලි සමාගමේ බලාපොරොත්තුවයි.

Visits: 104