ස්වර්ණමහල් ෆිනෑන්ෂල් තැන්පතුකරුවන්ගේ ඉහළ දැමූ වන්දි මුදල් ගෙවීම හෙට සිට

අර්බුදයට ලක්ව ගනුදෙනු අත්හිටුවා ඇති ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සමාගමේ සුදුසුකම් ලත් තැන්පත්කරුවන් සඳහා වන වැඩිකරන ලද වන්දි මුදල් ගෙවීම හෙට (10දා) දිනයේ සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එහි නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මගින් නිකුත් කළ නිවේදනයක මේ පිළිබඳව සඳහන් වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලත් තැන්පතුකරුවන්/අදාළ තැන්පතු සඳහා වන නීත්‍යානුකූල උරුමකරුවන් වෙත මෙම වැඩිකරන ලද වන්දි මුදල් ගෙවීම සිදු වෙයි.

මීට පෙර මෙම ආධාරක යෝජනා ක්‍රමය යටතේ තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂ 6ක වන්දි මුදලක් හිමි වුවත්, මේ වනවිට එය රුපියල් ලක්ෂ 11ක් දක්වා ඉහළ දමා තිබේ.

ඒ අනුව හෙට දිනයේදී හෝ එදිනෙන් පසු දිවයිනේ ඕනෑම මහජන බැංකු ශාඛාවක් වෙත නියමිත ලේඛන ඉදිරිපත් කර තමන්ට හිමි වන්ද මුදල් ලබා ගන්නා ලෙස මහ බැංකුව දැනුම් දී සිටියි.

කෙසේ වෙතත් රටෙහි පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මෙම මහජන බැංකු ශාඛා පරිශ්‍රයන්හි පිරිස් වශයෙන් රැස් නොවන ලෙසත්, සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙසටත් මෙම තැන්පතුකරුවන්ගෙන් සහ නීත්‍යානුකූල උරුමකරුවන්ගෙන් මහ බැංකුව ඉල්ලා සිටියි.

එසේම 0112477261 / 0112398788 යන දුරකතන අංක හරහා මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගත හැකි බවත් මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

Visits: 83