ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ Sinopharm එන්නත අනුමත කරයි

චීනයේ නිෂ්පාදිත Sinopharm කොවිඩ්-19 මර්දන එන්නත සඳහා අනුමැතිය ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ පියවර ගත් බව පවසයි.

ඒ අනුව වයස අවුරුදු 18 සිට ඉහළ පුද්ගලයන් සඳහා මෙම එන්නතේ මාත්‍රා දෙකක් සති හතරක පරතරයක් තුළදී ලබාදීම සුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වී තිබේ.

චීනයේ බීජිං නුවර පිහිටි චයිනා නැෂනල් බයෝටෙක් ගෘප් (CNBG) හි පරිපාලිත සමාගමක් වන බයෝ-ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝලොජිකල් ප්‍රඩක්ට්ස් කෝපරේෂන් ලිමිටඩ් සමාගම මගින් මෙම එන්නත නිපදවා තිබේ.

මෙම අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ඊයේ පුවත්පත් සාකච්ඡාවක් වෙත අදහස්දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධනයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් අදානොම් ගෙබ්‍රෙයේසුස්, “මෙම සන්ධ්‍යාවේදී, ලෝක සෞඛ්‍ය සංවිධානයමගින් චීනයේ Sinopharm එන්නත හදිසි අවස්ථාවන් සඳහා භාවිතා කළහැකි ලෙස ලැයිස්තුගත කරනවා. ඒ අනුව මේදක්වා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් එන්නත් හයක් සුරක්ෂිත, සාර්ථක සහ ගුණාත්මක බවින් යුක්ත බවට සඳහන් කර තිබෙනවා.” යනුවෙන් පවසා සිටියි.

ඒ අනුව මේ හරහා ලොව අඩු ආදායම් ලාභී රටවලට කොවිඩ්-19 එන්නත් ලබාදීමේ වැඩසටහන වන Covax වැඩසටහනේ එන්නත් ලැයිස්තුව තවත් පුළුල් වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි. එසේම ලොව රටවලට තමන්ගේම නියාමන අනුමැතියන් හරහා මෙම එන්නත ආනයනය කරමින් එය ජනතාව වෙත ලබා දීමේ හැකියාව පවතින බවත් ඔහු සඳහන් කරයි.

විශේෂයෙන්ම මෙම Sinopharm එන්නත සතුව ගබඩාකිරීමේදී ඉතාමත් අවම අවශ්‍යතාවන් කිහිපයක් පමණක් පවතින වබත්, එය අවම පහසුකම් සහිත රටවලට වඩාත් සුදුසු බවත් සඳහන්ව ඇත.

එසේම මෙම එන්නත උෂ්ණත්වයට නිරාවරණය වීමකදී එහි ඇති කුඩා ස්ටිකරයක වර්ණය වෙනස්වීමක් සිදුවන බවත් ඒ හරහා සෞඛ්‍ය සේවකයන්ට මෙම එන්නත ලබාදීමට සුරක්ෂිතද යන්න පෙන්නුම් කරන බවත් පැවසෙයි. මෙවැනි ක්‍රමයක් භාවිත පළමු එන්නත ලෙසද මෙම Sinopharm සැලකෙයි.

Visits: 140