ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ඉදිකිරීම් කර්මාන්තකරුවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර

“ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ඉදිකිරීම් කර්මාන්තයේ සහයෝගීතාවය” යන තේමාව යටතේ වෙබිනාර් සාකච්ඡාවක් 2021 මැයි මස 04 වැනි දින පැවැත්වුණු බව කත්මන්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මෙම සඳහා නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) හා නේපාලයේ කොන්ත්‍රාත්කරුවන්ගේ සංගමය, නේපාල ඉංජිනේරුවන්ගේ සංගමය සහ වාස්තු විද්‍යා හා ඉංජිනේරු සමාගම් උපදේශන සංගමය (SCAEF) යන ආයතනවල නියෝජිතයින් සම්බන්ධ වී ඇත.

මෙහිදී පිරිස අමතා ඇති ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සභාපති සුරේෂ් ද මැල් මහතා, ඉදිකිරීම් කර්මාන්තයේ හවුල් ව්‍යාපාර සඳහා වැදගත් වෙළඳපොළක් ලෙස නේපාලය හඳුන්වාදී තිබේ. එසේම ජාත්‍යන්තර වෙළඳපොළට සරිලන පරිදි ශ්‍රී ලංකා කර්මාන්තයේ ශක්තීන් සහ හැකියාවන් පෙන්වා දී ඇත.

විශේෂයෙන්ම හරිත ඉදිකිරීම්, නාගරික යටිතල පහසුකම්, පාංශු හා භූ විද්‍යාව, ජල විදුලිය සහ අඩු වියදම් නිවාස පිළිබඳ ශ්‍රී ලංකාව විසින් දක්වන ලද විශේෂඥ දැනුම පිළිබඳව ඔහු එහිදී සඳහන් කර තිබේ.

නේපාලයේ කොන්ත්‍රාත්කරුවන්ගේ සංගමය, නේපාල ඉංජිනේරුවන්ගේ සංගමය සහ වාස්තු විද්‍යා හා ඉංජිනේරු සමාගම් උපදේශන සංගමය (SCAEF) නේපාල කර්මාන්තය වෙනුවෙන් අදහස් දක්වා ඇත. මාර්ග හා ප්‍රවාහන සංවර්ධනය, මහාමාර්ග හා දුම්රිය මාර්ග, ජලය හා සනීපාරක්ෂාව ඇතුළු භෞතික යටිතල පහසුකම් සහ ස්මාර්ට් සිටි ව්‍යාපෘති පිළිබඳ ආයෝජන අවස්ථා විස්තර කරමින්, නේපාල වෙළඳපොළ පිළිබඳ දළ විශ්ලේෂණයක් ඔවුන් විසින් සපයා තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉදිකිරීම්කරුවන්ගේ සංගමය (MCSL), කුඩා ජල විදුලිබල සංවර්ධකයින්ගේ සංගමය, ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතන මෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් නියෝජනය කරන ලදී. ජාත්‍යන්තර ව්‍යාපෘතිවල ශ්‍රී ලංකා සමාගම්වල ජයග්‍රහණ සහ සාර්ථකත්වයන් සහ ශ්‍රී ලාංකික සමාගම් අප්‍රිකාව සහ ආසියාව වෙත ළඟා වී ඇති ආකාරය ඔවුන් විසින් ඉස්මතු කරන ලදී.

සබඳතා ශක්තිමත් කිරීමට, හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීමට සහ ව්‍යාපාර හා තාක්ෂණික සහයෝගීතා සහ හවුල් ව්‍යාපාර ගවේෂණය කිරීම සඳහා පවතින අවස්ථාව දෙපාර්ශ්වයම පිළිගෙන ඇත.

දෙරටේ කර්මාන්ත සංගම්, වෘත්තීය සංවිධාන සහ ඉදිකිරීම් සමාගම් නියෝජනය කරමින් 100 දෙනෙක් පමණ මෙම වෙබිනාර් සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ.

Visits: 47