රු.බිලියන 105ක හිඟ බදු මුදල් පිළිබඳ වාර්තාව මාස 5ක් ඇතුළත ඉල්ලයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කිසිඳු  ගැටලුවක් නොමැතිව අය කළ හැකි හිඟ බදු මුදල් ප්‍රමාණය සහ, අය කර ගත හැකි නමුත් ගැටලු පවතින හිඟ බදු මුදල් ප්‍රමාණය පිළිබඳව වාර්තාවක් මාස 02 ත් 05 ත් ඇතුළත ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු, Legacy පද්ධතියට අදාළව කිසිදු ගැටලුවක් නොමැතිව අය කළ හැකි බදු මුදල් ප්‍රමාණය මෙන්ම, අය කර ගත හැකි නමුත් ගැටලු පවතින ආයතන පිළිබඳව මාස 02 ක් ඇතුළත වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස මෙම කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය එම දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

එමෙන්ම RAMIS පද්ධතියට අදාළවද කිසිදු ගැටලුවක් නොමැතිව අයකළ හැකි බදු මුදල් ප්‍රමාණය මෙන්ම, අය කර ගත හැකි නමුත් ගැටලු පවතින ආයතන පිළිබඳව මාස 05 ක් ඇතුළත වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස ද ඇය එම දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් දැනුම් දුන් බව පැවසෙයි.

Legacy පද්ධතියට අනුව 2021.03.30 ට හඳුනා ගත් ආයතනවලට අදාළ හිඟ බදු ලෙස රුපියල් බිලියන 18 ක් හඳුනා ගෙන තිබුණු අතර, එය 2020 ජූනි 30 දිනට අයකළ හැකි මුළු හිඟ ආදායම වූ රුපියල් බිලියන 107 හා සැසඳීමේ දී සියයට 17 ක ප්‍රතිශතයක් බවද මෙම කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

එසේම RAMIS පද්ධතියට අනුව 2021.03.30 ට හඳුනා ගත් ආයතනවලට අදාළ හිඟ බදු ලෙස රුපියල් බිලියන 87 ක් හඳුනා ගෙන තිබුණු අතර, එය 2020 ජූනි 30 දිනට අයකළ හැකි මුළු හිඟ ආදායම වූ රුපියල් බිලියන 183 හා සැසඳීමේ දී සියයට 47.5 ක ප්‍රතිශතයක් බවද කාරක සභාවේදී හෙළි විය.

Legacy පද්ධතියට අදාළව අය කර ගත යුතු සියලු හිඟ මුදල් කඩිනමින් අය කර ගෙන එම පද්ධතියේ කටයුතු අවසන් කිරීමට ක්‍රියා කළ යුතු බවද කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.

හිඟ බදු අයකර ගැනීමට අදාළව අධිකරණවල පවතින නඩු කටයුතු කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශ සමඟ එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මීට පෙර කාරක සභාව දන්වා තිබූ අතර, එහි ප්‍රගතියකද  මෙහිදී සමාලෝචනය කෙරී තිබේ.

Visits: 316