ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය භුක්ති විදීමට හා ව්‍යාපාරික අවස්ථා ගවේෂණයට චීන ජනතාවට ආරාධනා

ශ්‍රී ලංකාවේ ස්වාභාවික සුන්දරත්වය භුක්ති විඳීමටත් එහි ඇති ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීමටත් පැමිණෙන ලෙස චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කොහොන මහතා චීන ජනතාවට ආරාධනා කරයි.

තානාපතිවරයා 2021 චීනයේ ජාත්‍යන්තර නගරාධිපති සංචාරක කටයුතු සංසදයේ (ෂෙන්ෂෝ) සමාරම්භක උත්සවය අමතමින් මෙම ආරාධනාව කළ බව බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාව සහ හෙනාන් පළාත අතර සමීප සබඳතා වර්ධනය විය යුතු බවත්, සංචාරක කටයුතු, සංස්කෘතිය, ආගම, අධ්‍යාපනය, වෙළඳාම සහ ආයෝජන වැනි විවිධ අංශවල තවදුරටත් හුවමාරු සිදුකර ගැනීමට එය ඉවහල් වන බවත් ආචාර්ය කොහොන මහතා මෙහිදී සඳහන් කර තිබේ.

සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය සහ හෙනාන් පළාත් මහජන රජය විසින් “නාගරික සංචාරක ව්‍යාපාරයේ තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා වෙළඳපොළ සමෘද්ධිය, විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනයන්” යන තේමාව යටතේ මෙම සංසදය සංවිධානය කර තිබිණ.

හෙනන් පළාත් පක්ෂ කමිටුවේ ස්ථාවර කමිටුවේ සාමාජික සහ ෂෙන්ෂෝ මහ නගර සභා කමිටුවේ ලේකම් ෂු ලීයී මහතා, සිය ආරම්භක දේශනයේ දී සංස්කෘතික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ කොටසක් ලෙස ඉදිවන “නගර තුනක්, කිලෝමීටර් තුන්සියයක්, වසර තුන්දහසක්” නම් වූ සංස්කෘතික සංචාරක කලාපයේ ඉදිකිරීම් ව්‍යාපෘතිය පිළිබඳව පැහැදිලි කර තිබේ.

මෙම ව්‍යාපෘතිය චීන ශිෂ්ඨාචාරය සහ කහ ගඟේ සංස්කෘතිය ඉස්මතු කොට ප්‍රවර්ධනය කරයි. මෙම ව්‍යාපෘතිය තුළින් හෙනාන් පළාතේ සංචාරක අන්තර් ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමටත්, තීරය සහ මාර්ගය පිළිබඳ ආර්ථික ප්‍රවේශයට (BRI) සම්බන්ධ අනෙකුත් රටවල් සමඟ පවතින සංස්කෘතික සහයෝගීතාව පුළුල් කිරීමටත් අපේක්ෂා කරන බව ෂු මහතා ප්‍රකාශ කළේය.

මේ වසරේ මුල් කාර්තුවේ දී හෙනාන් පළාතට සංචාරකයින් මිලියන 20 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි ද චීනයේ “දහහතරවැනි පස් අවුරුදු සැලැස්ම” අනුව සංචාරක කර්මාන්තය හෙනාන් පළාතේ ප්‍රධාන ආදායම් මාර්ගය වනු ඇතැයි ද හෙනාන් පළාතේ වැඩබලන ආණ්ඩුකාර වැන්ග් කායි මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ජූ ෂැන්ජොං මහතා, ලෝක සංචාරක සංගමයේ සභාපති ඩුවාන් චියෑන්ග් මහතා, ආසියා පැසිෆික් සංචාරක සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී මාරියෝ හාඩි මහතා හා අනෙකුත් ජාත්‍යන්තර සංචාරක සංවිධානවල නියෝජිතයින් සහ ඉතාලියේ සහ ග්‍රීසියේ නගරවල නගරාධිපතිවරු ද අන්තර්ජාලය හරහා මෙම උත්සව සභාව අමතා තිබේ.

Visits: 70