මංගල විජේසේකර ශ්‍රීලංකන් කේටරින්හි ප්‍රධාන විධායක නිලධාරී ධුරයට

ශ්‍රීලංකන් ගුවන් සේවයේ අනුබද්ධිත ආයතනයක් වන ශ්‍රීලංකන් කේටරින් හි නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස මංගල විජේසේකර මහතා තේරී පත්වූ බව ශ්‍රීලංකන් කේටරින් දැනුම් දෙයි.

මංගල විජේසේකර මහතා Aitken Spence හෝටල් සමූහයේ විදේශීය හෝටල් මෙහෙයුම් හි හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කර ඇති අතර, ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ වසර 23 කට වැඩි ආයතනික අත්දැකීම් ලබා ඇත.

ඒ මහතා සතුව ව්‍යාපෘති කළමනාකරණය, හෝටල් කළමනාකරණය, මූල්‍ය, පරිපාලනය සහ දේපළ මෙහෙයුම් පිළිබඳ පුළුල් දැනුමක් ඇත. එසේම ශ්‍රී ලංකාව, මාලදිවයින, ඉන්දියාව සහ ඕමානය ඇතුළු රටවල විවිධ ක්ෂේත්‍ර කිහිපයකම වෘත්තිකයන් සමඟ වැඩ කර අත්දැකීම් රාශියක් ඇති අයෙකු ද වේ.

ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ලබා ඇති අතර ඕස්ට්‍රේලියාවේ Southern Queensland විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, ඇමරිකා එක්සත් ජනපදයේ Cornell විශ්ව විද්‍යාලයෙන් ආගන්තුක සත්කාර කළමනාකරණය පිළිබඳ මාස්ටර් සහතිකයත්, කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් උපාධි පාසලෙන් සහ සිංගප්පූරුවේ NUS ව්‍යාපාරික පාසලෙන් ජාත්‍යන්තර කළමනාකරණය පිළිබඳ විධායක පුහුණුව ලබා ඇතැයිද ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

Visits: 62