වතු කම්කරු වැටුප් වැඩිවීම ගැන ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ නිවේදනයක්

වතු කම්කරුවන්ගේ වැටුප් සඳහා ලබා දුන් විකල්ප යෝජනාව වඩාත් ඵලදායී බවත් එමගින් දිනකට රුපියල් 1000කට වඩා වැඩි ආදායමක් උපයා ගැනීම සඳහා වතු කම්කරුවන්ට වැඩි හැකියාවක් ඇති බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි.

වර්තමානයේදී මතභේදයට තුඩු දී ඇති වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව සිය ස්ථාවරය පැහැදිලි කරමින් එම සංගමය මේ බව ප්‍රකාශ කර සිටියි.

කලාපීය වැවිලි සමාගම් (RPC’s) මේ පිළිබඳව නීත්‍යානුකූලව කටයුතු කිරීමට කැපවී සිටින බව මෙම නිවේදයෙන් ඔවුන් පෙන්වා දෙයි.

කෙසේවෙතත් රජය විසින් ගැසට් ගතකර ඇති රුපියල් 1000ක දෛනික ස්ථිර වැටුප් ආකෘතිය තිරසාර ආදායම් ආකෘතියක් නොවන බවත් ඉදිරිපත් කරන ලද හා ප‍්‍රතික්ෂේප කරන ලද ඉපැයීම් ආකෘතිය මගින් වතු කම්කරුවන්ට විශාල ධනාත්මක බලපෑමක් සිදු කළ හැකිව තිබූ බවත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය නැවත අවධාරණය කර සිටී.

‘‘මෙය මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් පවතින සාම්ප‍්‍රදායික වැටුප් යෝජනා ආකෘතියෙන් බැහැර වීමට තිබූ ඉතා හොඳ අවස්ථාවක් වන අතර එමගින් නිසැකවම වතු කම්කරුවන්ගේ ජීවනෝපායන් විශාල වශයෙන් ඉහළ නැංවීමට හැකියාව තිබූ යෝජනාවලියක්.’’ යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙරට තේ සහ රබර් වතු කම්කරුවන්ට ගෙවිය යුතු දෛනික අවම වැටුප රුපියල් 1,000ක් බවට නියම කරමින් රජය විසින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.

කෙසේ වෙතත් එම ගැසට් නිවේදනය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20ක් සහ විසින් රිට් පෙත්සම් ගොනු කර තිබේ.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම නිසා වතු කර්මාන්තය අර්බුදයකට ලක් වන බව පවසමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. ආගරපතන වැවිලි සමාගම, ඇල්පිටිය වැවිලි සමාගම ඇතුළු වතු සමාගම් විස්සක් මෙහි පෙත්සම් කරුවන් වෙයි.

Visits: 48