හේලීස් සහ රොසෙල් ඇති කළ විශ්වාසය නිසා දර්ශක ඉහළ යයි

අද (අප්‍රේල් 05දා) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේදී යම් මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කළද පසුව එය වේගවත් ඉහළ යාමක් දක්වා වර්ධනය වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම හේලීස් සමූහයේ සහ රෝයල්සෙරමික්ස් ලංකා සමූහයේ සමාගම් මගින් ආයෝජකයන් තුළ ඇති කළ විශ්වාසය මීට හේතු වී තිබේ. එසේම විදේශ අයෝජන පිටතට ගලායාම්වලට වඩා වටිනා කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් ආයෝජකයන් තුළ පැවැති මිලදී ගැනීමේ උනන්දුවද මෙම වර්ධනයට හේතු වී ඇත.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,216.06ත් ඒකක 7,299.14ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,280.27 ක් බවට පත්විය. එය ඊයේ (අප්‍රේල් 05) දිනයට සාපේක්ෂව ඒකක 62.44 ක් එනම් +0.87%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව හේලීස් පීඑල්සී තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 0.8%ක් සඳහා දායකත්වය ලබා දී ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 97ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 72ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ හේලීස් පීඑල්සී HAYL (+11.33), වැලිබල් වන් පීඑල්සී VONE (+8.08), රෝයල් සෙරමික්ස් පීඑල්සී RCL (+5.96), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+5.87), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී DIPD (+5.62), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-9.04), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (-3.97), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-3.92), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL(-3.29), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-3.22) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,934.48ක අගයක් ගත් අතර, එය ඊයේ (අප්‍රේල් 05) දිනයට සාපේක්ෂව ඒකක 60.18 ක එනම් +2.09%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.4ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අප්‍රේල් 05) වාර්තා කළ රුපියල් බිලියන 2.1ට සාපේක්ෂව 18% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.18ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 7.43%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 42.43ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 231.34ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 188.91කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 18.59ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 5.62 කි. එසේම සම්පත් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 70.21ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 914ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 37% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ බැංකු යන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 605ක සහ රුපියල් මිලියන 233ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 440