සොෆ්ට්ලොජික් පීඑල්සී සිය සිල්ලර මෙහෙයුම් සොෆ්ට්ලොජික් රීටේල් වෙත පවරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම තමන් සතු පූර්ණ අනුබද්ධිත සමාගම් දෙකක් වන සීමාසහිත සොෆ්ට්ලොජික් සුපර්මාර්කට්ස් (පෞද්ගලික) සමාගමේ සහ සීමාසහිත සොෆ්ට්ලොජික් (රෙස්ටුරන්ට්) පෞද්ගලික සමාගමේ හිමිකාරීත්වයන් සීමාසහි සොෆ්ට්ලොජික් රීටේල් හෝල්ඩිංග්ස් (පෞද්ගලික) සමාගම වෙත පවරා ඇතැයි නිවේදනයක් මගින් දැනුම් දී සිටියි.  

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම යටතේ පවතින සිල්ලර වෙළෙඳ මෙහෙයුම් එක් තනි සමාගමක් යටතට පත් කිරීමේ අරමුණින් සමාගම මගින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව මෙහිදී සීමාසහිත සොෆ්ට්ලොජික් සුපර්මාර්කට්ස් (පෞද්ගලික) සමාගම තුළ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව තිබූ 100%ක හිමිකාරීත්වය රුපියල් මිලියන 508ක (508,000,000) මුදලකට සීමාසහිත සොෆ්ට්ලොජික් රීටේල් හෝල්ඩිංග්ස් (පෞද්ගලික) සමාගම වෙත පැවරීමක් සිදුව තිබේ.

එසේම සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් පෞද්ගලික සමාගම තුළ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව තිබූ 100% ක හිමිකාරීත්වයත් සොෆ්ට්ලොජික් රීටේල් හෝල්ඩිංග්ස් (පෞද්ගලික) සමාගම වෙත පවරා ඇති අතර, පැවරීමේ වටිනාකම රුපියල් බිලියන 1.1ක් (1,168,500,000ක්) බවත් මෙහිදී අනාවරණය කර සිටියි.

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සඳහන් කරන ආකාරයට ඉහත සඳහන් කළ හිමිකාරීත්වය හුවමාරු කිරීම අද (2021 මාර්තු 30) දිනයේදී සම්පූර්ණ කෙරී ඇත.

සීමාසහිත සොෆ්ට්ලොජික් රීටේල් හෝල්ඩිංග්ස් (පෞද්ගලික) සමාගම සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි පූර්ණ අනුබද්ධිත සමාගමකි.

2018 වසරේ මාර්තු 09 වැනිදා පිහිටවුණු එම සමාගම සොෆ්ට්ලොජික් සමූහයේ සියලුම සිල්ලර වෙළෙඳ මෙහෙයුම් පවත්වාගෙන යාමේ අරමුණීන් සහ විශේෂයෙන්ම සිල්ලර අංශය තුළ සොෆ්ට්ලොජික් සමූහයේ ව්‍යාප්තිය සඳහා සහාය වෙනුවෙන් එම මෙහෙයුම් තනි හස්තයක් යටතේ ක්‍රියාත්මක කරවීම උදෙසා පිහිටුවූවක් බව සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සඳහන් කරයි.

අද වනවිට සොෆ්ට්ලොජික් රීටේල් හෝල්ඩිංග්ස් (පෞද්ගලික) සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 7,948,893,020 කි. එය මෙම නිවේදනය සිදුකරන දිනය වන විට සාමාන්‍ය කොටස් 794,889,302 ක නියෝජනයක් බවද සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 281