සතියේ තෙවැනි දිනටත් දර්ශක රතු වෙයි

අද (මාර්තු 17දා) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පෙර දින කිහිපයේදී පරිද්දෙන්ම කඩා වැටීමක් පෙන්නුම් කෙරිණි. එහිදී විශාල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් තුළ පැවැති වාෂ්පශීලීතාව මෙන්ම ආයෝජකයන්ගේ සහභාගිත්වයේ ඇති වූ පහත වැටීම දර්ශක අගයන් ඍණ වීමට හේතු වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,044.56ත් ඒකක 7,151.01ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,044.56 ක් බවට පත්විය. එය ඊයේ (මාර්තු 16) දිනයට සාපේක්ෂව ඒකක 75.14 ක් එනම් -1.06%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 38ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 120ක මිල ගණන් පහළ ගොස් තිබේ.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සිදු වුණු ගනුදෙනුවක් දිනයේ සමස්ත පිරිවැටුමෙන් 2.4%ක් සඳහා දායකත්වය ලබා දී ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එච්එන්බී ෆිනෑන්ස් පීඑල්සී HNBF (+2.93), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (+2.65), ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+1.51), ආසිරි සර්ජිකල් හොස්පිටල් පීඑල්සී AMSL (+0.85), පාම් ගාර්ඩන් හොටෙල්ස් පීඑල්සී PALM (+0.48), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-7.06), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-6.91), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-5.81), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-5.16), වැලිබල් වන් පීඑල්සී VONE (-4.43) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,816.92 ක අගයක් ගත් අතර, එය ඊයේ (මාර්තු 16) දිනයට සාපේක්ෂව ඒකක 28.59 ක එනම් -1.00%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 853.07ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (මාර්තු 16) වාර්තා කළ රුපියල් බිලියන 1.23කට සාපේක්ෂව 31% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.08ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 4.05%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 43.82ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 192.56ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 148.75කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 15.33ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 10.27 කි. එසේම එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 89.84ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 197ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 23% ක අගයක් ගෙන තිබේ. බැංකු සහ ප්‍රවාහන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 185ක සහ රුපියල් මිලියන 153ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 115