පළමු ‘mstop’ බහුවිධ බස් නැවතුම දියත උයන අසලදී විවෘත කෙරේ

මෙරට පොදු ප්‍රවාහනය භාවිතා කරන මගීන්ට නව අත්දැකීමක් එක්කරමින් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙරට පිහිට වූ පළමු ‘mstop’ බහුවිධ බස් නැවතුම දියත උයන ආසන්නයේදී ඊයේ විවෘත කෙරී තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සංකල්පය, නිර්මාණය සහ ඉදිකිරීම යටතේ මෙම නව ‘mstop’ බහුවිධ බස් නැවතුම හඳුන්වාදී තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව මෙම බස් නැවතුම ඉදි කර ඇත.

එසේම නාගරික සංවර්ධන අධිකාරිය, ප්‍රවාහන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යන ආයතන ඊට දායකත්වය ලබා දී ඇත.  

මෙම බස් නැවතුම තුළ ඇති තිරයේ එම ස්ථානයට මීළගට බස් රථයක් ළගා වන වේලාව පිළිබඳව ඩිජිටල් පුවරුවක් සටහන් කෙරී ඇත. එසේම බස් රථයක් පැමිණෙන තුරු රැඳී සිටීමේ අවස්ථාවද එහි තිබේ.

Wi-Fi සන්නිවේදන පහසුකම සහිත මෙම බස් නැවතුමෙහි තාක්ෂණික දායකත්වය SLT-Mobitel මගින් ලබා දී තිබේ. මෙහි සම්පූර්ණ  බස් නැවතුමකට අමතරව විවිධ පානවර්ග මිලදී ගත හැකි අලෙවි සැලක්ද මෙහි පිහිටුවා ඇත.

මෙම බස් නැවතුම වෙත අවශ්‍ය විදුලි බලය ලබා ගැනීම සඳහා සූර්ය බලශක්තිය යොදා ගන්නා බවත් පැවසෙයි.

නියමු ව්‍යාපෘතියක් ලෙස ඉදිකෙරුණු මෙම පළමු ‘mstop’ බහුවිධ බස් නැවතුම විවෘත කිරීම ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම හා එම අමාත්‍යාංශයට අයත් ආයතනවල සභාපතිවරුන්ගේ සහ යුද හමුදා පති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් සිදුව තිබේ.

Visits: 343