ඇල්ටෙයාර් පළමු අදියර හෙට (12දා) විවෘත කෙරේ

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අළුත් අත්දැකීමක් සහිත නව නිර්මාණයක් සේ ඉදිකෙරුණු කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර හෙට (12) දින සවස 5.00ට විවෘත කිරීමට නියමිතව ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසයි.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පළමු අදියර විවෘත කිරීමට නියමිතව තිබේ.

ලංකාවේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයෙකු විසින් සම්පූර්ණ ආයෝජන මුදල එකවර ගෙවන ලද නේවාසික හා වාණිජ වෙළෙඳ සංකීර්ණයක් වන ඇල්ටෙයාර් ගොඩනැගිල්ල වත්මන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටි කාලයෙහි වැඩ ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියි.

විදේශ ආයෝජන දිරි ගැන්වීමේ අරමුණ උදෙසා ක්‍රියාත්මක කෙරුණු මෙම ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණේ 2017 වසර තුළදීය. එහෙත් අතරමඟ ඉදිකිරීම් නැවතී තිබූ මෙම ව්‍යාපෘතිය 2020 මැයි මාසයේ දී ජනාධිපතිතුමාගේ අවධානයට ලක් වී තිබේ.

ඒ සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රමුඛ කමිටුවක් පත් කළ අතර වසර 05 ක කාලයක් ප්‍රමාද වූ මෙම ව්‍යාපෘතියේ අඩුපාඩු සහ ආයෝජකයන්ගේ ගැටලු නිරාකරණය කර අවසන් කිරීමෙන් පසු වසරක් ඇතුළත මෙම ව්‍යාපෘතිය නිමවා අවසන් කෙරී ඇත.

මෙම ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු South City සහ Indian Ocean යන සමාගම විසින් සිදුකරනු ලබයි.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ ගංගාරාම සීමාමාලකයට නුදුරින් අක්කර 02 ක භූමි ප්‍රමාණයක මෙම ඇල්ටෙයාර් ගොඩනැගිල්ල ඉදිකර තිබේ. ඇල්ටෙයාර් ගොඩනැගිල්ල සඳහා වන ආයෝජන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250 කි. මෙහි ආයෝජකයා ලෙස ඉන්ඩෝඩිස් ඩිවලොප්මන්ට් සමාගම කටයුතු කරයි.

බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඌණ සංවර්ධන ඉඩම් සංවර්ධනය කිරීමේ අරමුණින් 2011 වසරේදී 99 අවුරුද්දකට යටත්ව රුපියල් මිලියන 2,560 කට බදු දුන් මෙම ඉඩමේ සංවර්ධන ව්‍යාපෘතිය 2012 වසරේදී ආරම්භ කළ අතර 2021 වසරේදී එහි වැඩ අවසන් කෙරිණ.

මෙම ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි උස මීටර් 230 ක් වන අතර මෙය මහල් 68 කින් සමන්විත වේ. ඒ අනුව වර්ග 4 කින් සමන්විත අති සුඛෝපභෝගී නිවාස 407 කින් ඇල්ටෙයාර් ගොඩනැගිල්ල සමන්විත වේ. මෙහි පිහිටි වාණිජ ප්‍රදේශය වර්ග අඩි 30,000 කි. සියලු නිවාස නවීන පහසුකම්වලින් සමන්විත වේ. ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කර ඉදිකර ඇති මෙම නිවාස වර්ග අඩි 1400 සිට වර්ග අඩි 5000 ක් දක්වා ප්‍රමාණයක පවතී.

ඇල්ටෙයාර් ගොඩනැගිල්ල තුළ වාහන 600 ක් නතර කර තැබිය හැකි වාහන රථගාලක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, පිහිනුම් තටාක 02 ක්, උත්සව ශාලා සහ ප්‍රමිතියෙන් යුතු සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විතය. අක්කරයක භූමි භාගයක ඉදිකර ඇති උද්‍යානයත් මෙහි ඇති විශේෂත්වයක් ලෙස දැක්වෙයි.

සින්නක්කර විකුණුම් පදනම් මත ලබා දෙන නිවාසවල මිල පිළිබඳව තවමත් අවසන් නිගමනයකට පැමිණ නැත.

නාගරික සංවර්ධන අධිකාරියට අයිති 99 අවුරුද්දකට බදු ගනු ලැබූ මෙම ඉඩමේ හිමිකම හැර සියලු ඉදිකිරීම්, මිල තීරණය කිරීම, මුදල් ලබාගැනීම, පවත්වාගෙන යන විකුණුම් මිල තීරණය කිරීම ඇතුළත් සියලු අයිතීන් ඉඩමේ ආයෝජකයා වන ඉන්ඩෝඩිස් ඩිවලොප්මන්ට් සතු වන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයාට දේශීය සහ විදේශීය ආයතන මඟින් උපදේශන ලබා දී තිබේ.

Visits: 453