දිවයිනේ සියලුම සමෘද්ධි බැංකු පරිගණකගත කෙරේ

දිවයිනේ සියලුම සමෘද්ධි බැංකු පරිගණක ගත කරන බව රජය පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙය ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව මේ දක්වා දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු 1074කින් 183ක් පරිගණක ගත කර අවසන් කර ඇතැයිද රජය පවසා සිටියි.

මේ අතරින් ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි බැංකු 86ක් පරිගණක ගත කිරීම මේ දිනවල සිදු වෙමින් පවතී. ඉන් 20ක් පරිගණක ගත කිරීම අවසන් කර තිබේ. මෙලෙස පරිගණක ගත කෙරුණු ගම්පහ දිස්ත්‍රික්කයේ පලමු සමෘද්ධි බැංකුව ඊයේ (08) සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතින් විවෘත වී ඇත. මිනුවන්ගොඩ යාගොඩමුල්ල සමෘද්ධි බැංකුව මෙලෙස විවෘත කෙරී තිබේ.

ලක්ෂ 17ක් වූ සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ පහසුව සඳහා සමෘද්ධි බැංකු පරිගණක ගත කිරීම සිදු කෙරෙන බව අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත. පසුගිය රජය විසින් ස්වාභාවික මරණයක් ලබා දීමට සැලසුම් කර තිබූ සමෘද්ධි ව්‍යාපාරය මේ වනවිට වත්මන් ආණ්ඩුව ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු එහිදී පවසා ඇත.

සමෘද්ධි පවුල් ලක්ෂ 2ක් හඳුනාගෙන ඔවුන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියක්ද මේ වනවිට ආරම්භ කර තිබේ. සමෘද්ධි ව්‍යාපාරය හරහා ව්‍යවසායකයන්ට ණය සහන ලබා දීමේ වැඩසටහනක්ද  දැන් ක්‍රියාත්මකයි. සෞභාග්‍යා නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස ඉදිකිරීම ද මේ වනවිට ක්‍රියාත්මක කරන බවද ඇමතිවරයා සඳහන් කර ඇත.

දිළිඳුකම පිටු දැකීමේ අරමුණින් ආරම්භ කල සමෘද්ධි ව්‍යාපාරයේ අරමුණට පටහැනිව යහපාලන ආණ්ඩුව කටයුතු කළ බවත්, යහපාලන ආණ්ඩුව සමයේ නුසුදුසු පුද්ගලයන්ට සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කළ බවත් ඔහු පෙන්වා  දී තිබේ.

මෙම රැස්වීමට දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල යන මහත්වරුද සහභාගී වී ඇත.

Visits: 94