නැනෝ තාක්ෂණික ආයතනය හා මල්ටිලැක් NOVID දියර ඉසිනය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනය (SLINTEC) මෙරට ප්‍රමුඛ පෙළේ තීන්ත නිෂ්පාදන සමාගමක් වන මල්ටිලැක් සමාගමේ (Multilac) මල්ටිලැක් කෙයාර් සමගින් එක්ව නවතම වෛරස නාශක සහ බැක්ටිරීයා නාශක දියර ඉසිනයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇතැයි පවසයි.

NOVID ලෙසින් හඳුන්වා දී ඇති මෙම නව නිෂ්පාදනය මෙතෙක් ශ්‍රී ලංකාව තුළ නිපදවුණු පළමු වෛරස නාශක සහ බැක්ටිරීයා නාශක දියර ඉසිනය ලෙසින්ද සැලකෙයි. එසේම මෙම දියර ඉසිනය මගින් කොරෝනා වෛරසය 99%කින් මර්දනය කරන බවත් එහි නිෂ්පාදකයන් පවසයි.

විශේෂයෙන්ම කෙටි කාලයක් ආරක්ෂාවක් සැලසෙන සාම්ප්‍රදායික පිරිසිදු කාරක හා සැසඳීමේදී මෙම NOVID දියර ඉසිනය මගින් මතුපිට මත ඉතා ඉහළ මෙන්ම දිගු කාලයක ආරක්ෂාවක් ලබා දෙන බවත් සඳහන් වෙයි.

මෙම නව නිෂ්පාදනය සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේ පර්යේෂණ සහ නවෝත්පාදන අංශ ප්‍රධානී ආචාර්ය අසීස් මුබාරක්, “සාර්ථක ජාතියක ආර්ථික සංවර්ධනය වෙනුවෙන් නවෝත්පාදනය කියන දේ සෑම විටම මූලික කරුණක් වෙනවා. එහෙත් පර්යේෂණ ප්‍රතිඵලයක් ආර්ථික ප්‍රතිලාභයක් බවට පරිවර්තනය කරීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන ආයතනයන් සහ කර්මාන්තය අතර ක්‍රියාකාරී සබඳතාවක් පැවතීම අවශ්‍ය වෙනවා. මෙලෙස එළි දක්වන NOVID නිෂ්පාදනය අපගේ නැනෝ තාක්ෂණික ආයතනය සහ මල්ටිලැක් කෙයාර් අතර ඇති කරගත් එවැනි ඵලදායී හවුල්කාරීත්වයකට හොඳම උදාහරණයක්.” යනුවෙන් පවසයි.

මෙම නවතම NOVID වෛරස නාශක සහ බැක්ටිරීයා නාශක දියර විදිනය පිළිබඳව අදහස් දක්වන මල්ටිලැක් කෙයාර්හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මිස්හා මිස්වෙර් ඉස්මායිල්, “මෙම නවීනතම තාක්ෂණය පිළිබඳව වගේම කොරෝනා වෛරසයට එරෙහි සටනේදී අපගේ භූමිකාව පිළිබඳව ආඩම්බරයට පත් වෙනවා.” යනුවෙන් පවසා සිටියි.

Visits: 69