කොලදෙනිය ජලවිදුලි බලාගාර සමාගම රු.මි. 180.5කට අලෙවි වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම තමන් යටතේ පැවැති කොලදෙනිය ජලවිදුලි සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වය රුපියල් මිලියන 180.5ක මිලකට අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි පවසයි.

ලංකා බැංකුවෙහි පරිපාලිත සමාගමක් වන ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම මෙම කොටස් අලෙවිය සඳහා 2020 අගෝස්තු මාසයේ දී සුදුසු ආයෝජකයෙකුගෙන් ලංසු කැඳවීමක් සිදු කළ බවත් ඒ අනුව ඉදිරිපත් වූ හොඳම ආයෝජකයා වෙත මෙම කොටස් අලෙවි කර දැමූ බවත් එම සමාගම සඳහන් කරයි.

ඒ අනුව මෙහිදී විශ්‍රාමික රියර් අද්මිරාල් එම්.යූ.කේ.වී. බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලද ලංසුව පිළිගැනීමට ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම පියවර ගත් බවත් ඒ අනුව රුපියල් මිලියන 180.5කට මෙම කොටස් අලෙවිය සිදු වුණු බවත් සමාගම දැනුම් දී සිටියි.

එම සමාගම සඳහන් කරන ආකාරයට මෙම කොලදෙනිය ජලවිදුලි සමාගම මගින් කිලෝවොට් 1,200ක කුඩා ජල විදුලි බලාගාරයක් ක්‍රියාත්මක කරවන අතර, එම විදුලිය ලංකා විදුලි බල මණ්ඩලය වෙත අලෙවි කිරීම සිදු කරයි. ඒ අනුව මෙම ගනුදෙනුවත් සමගින්ම සමාගමේ හිමිකාරීත්වය මෙන්ම එම විදුලි බලාගාරයේ මෙහෙයුම්ද නව හිමිකරුවා අතට පත් වෙයි.  

2012 වසරේදී කුඩා ජලවිදුලි බලාගාර සමාගමක් ලෙස ආරම්භ කෙරුණු මෙම කොලදෙනිය ජලවිදුලි සමාගම සඳහා ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම මගින් සිදුකළ ආයෝජනය රුපියල් මිලියන 242 කි. එහිදී සමාගම මගින් කොටස් මිලියන 21.7ක් නිකුත් කිරීමද සිදු විය.

මෙම ජල විදුලි බලාගාරය මගින් නිපදවන විදුලිය ලංකා විදුලි බල මණ්ඩලය වෙත අලෙවි කිරීම හරහා 2019 වසරේදී ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම රුපියල් මිලියන 81ක ආදායමක් හිමි කරගැනීමට සමත්ව ඇත.

කෙසේ වෙතත් එය 2018 වසරේදී සමාගම අත්කරගත් රුපියල් මිලියන 90ක ආදායමට සාපේක්ෂව අඩුවීමකි. එසේම 2019 දී සමාගම හිමිකරගත් ලාභය රුපියල් මිලියන 47ක් වන අතර එය 2018 වසරේදී සමාගම හිමිකරගත් ලාභය වූ රුපියල් මිලියන 39.6 ට සාපේක්ෂව ඉහළ යාමකි.

Visits: 440