තේ මණ්ඩලයේ සභාපති මොල්ලිගොඩත් ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ජයම්පති මොල්ලිගොඩ මහතා ලංකා බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර ඇතැයි එම බැංකුව පවසයි. මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එම පත් කිරීම සිදු කර තිබේ.

ඒ අනුව පෙරේදා (පෙබරවාරි 18 දා) සිට ජයම්පති මොල්ලිගොඩ මහතා මෙලෙස ලංකා බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කෙරී ඇතැයි බැංකුව සඳහන් කරයි.

තේ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් වීම් ලැබීමට පෙර මොල්ලිගොඩ මහතා බොගවන්තලාව ටී එස්ටේට්ස් පීඑල්සී සමාගමේ විධායක නියොජ්‍ය සභාපතිවරයා/ප්‍රධාන විධායක නිලධාරියා ලෙස 2019 දෙසැම්බර් 10 වැනිදා දක්වා කටයුතු කළේය.

එසේම 2004 සිට 2015 දක්වා කාලය තුළ ඒ මහතා ලේක්හවුස් ආයතනයේ ජ්‍යෙෂ්ට මූල්‍ය කළමනාකරුවා ලෙසද කටයුතු කර තිබේ. ඊට පෙර 1991/92 කාලසීමාවේදී ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා ලෙසත්, 1984 සිට 1990 කාලය තුළ ඒ මහතා සිලෝන් ප්ලයිවුඩ්ස් ආයතනයේ ජ්‍යෙෂ්ට ගණකාධිකාරීවරයා ලෙසත් කටයුතු කර ඇත.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ජයම්පති මොල්ලිගොඩ මහතා,  ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකුද වෙයි. 1998 වසරේදී කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් සිය එම්.බී.ඒ. උපාධිය හිමි කරගන්නා මොල්ලිගොඩ මහතා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් විධායක උපායමාර්ග පිළබඳ වැඩසටහනද සාර්ථකව නිමා කර ඇත.

ඒ මහතා සතුව උපායමාර්ගික සැලසුම් සහ මානව සම්පත් සංවර්ධන, වැවිලි කළමනාකරණ සහ තේ ජාත්‍යන්තරව අලෙවි කරීම පිළිබඳව වසර 40කට අධික කාලයක විධායක මට්ටමේ අත්දැකීම් පවතින බවත් සඳහන් වෙයි. 2014 වසරේදී ඒ මහතා CMA ආයතනය මගින් පිරිනමන Professional Excellence Awards 2014 සම්මානයෙන්ද පිදුම් ලබා තිබේ.

අද වන විට ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ කාංචන රත්වත්ත (සභාපති), ආර්.එම්.පී. රත්නායක (අධ්‍යක්ෂ), හර්ෂ විජේවර්ධන (විධායක නොවන අධ්‍යක්ෂ), අනුර ක්‍රිස්ටෝපර් (විධායක නොවන අධ්‍යක්ෂ), විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි (විධායක නොවන අධ්‍යක්ෂ) යන මහත්වරුන්ය.

Visits: 128