වින්ඩ්ෆෝර්ස් (පෞද්) සමාගම මූලික මහජන කොටස් නිකුතුවකට සැරසෙයි

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම පුනර්ජනනීය බලශක්ති උත්පාදන සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් (පෞද්) සමාගම සිය සමාගමේ 15%ක කොටස් ප්‍රතිශතයක් කොළඹ කොටස් හුවමාරුව තුළ මූලික මහජන නිකුතුවක් ලෙස ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

මේ හරහා සමාගම මගින් රැස් කිරීමට බලාපොරොත්තු වන මුදල රුපියල් බිලියන 3.2ක් බව ඊයේ දිනයේදී මේ පිළිබඳ වාර්තාවක් ගෙන ආ ඩේලිමිරර් පුවත්පත පවසයි.

ඒ අනුව මෙම ලැයිස්තුගතවීමත් සමගින්ම එම සමාගම දැනට කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගත කෙරී ඇති විශාලතම පුනර්ජනනීය බලශක්ති සමාගම බවටත් පත්වීමට නියමිතව ඇත. දැනටමත් පුනර්ජනනීය බලශක්ති උත්පාදන සමාගම් දෙකක් ලැයිස්තුගතව සිටින අතර එම සමාගම්වලට වඩා මෙම වින්ඩ්ෆෝර්ස් (පෞද්) සමාගම  පස්ගුණයකින් විශාලය.

සමාගම සඳහන් කරන ආකාරයට අද වනවිට වින්ඩ්ෆෝර්ස් (පෞද්) සමාගමේ සමස්ත විදුලිබල උත්පාදන ධාරිතාව මෙගාවොට් 218 කි. එහිදී ඉන් 77%ක ප්‍රතිශතයක් ශ්‍රී ලංකාව තුළ පවතින අතර ඉතිරිය උගන්ඩාව, පාකිස්තානය සහ යුක්රේනය තුළ පිහිටා තිබේ.

එසේම එම සමාගමේ ඉදිරි ව්‍යාපෘති යටතේ මන්නාරමේ ඉදි කෙරෙන මෙගාවොට් 15ක සුළං විදුලි බලාගාරය මෙන්ම සෙනගාලයේ පිහිටුවන මෙගාවොට් 30ක සූර්ය විදුලි බලාගාරය සහ මෙගාවොට් 7.5ක බැටරි ගබඩාවත් ඇතුළත් වෙයි. ඒ අනුව මෙම ව්‍යාපෘති හරහා සිය විදුලි උත්පාදන ධාරිතාවට මෙගාවොට් 33ක් එකතු කිරීම සැලසුම වී ඇති අතර ඒ සඳහා යොදවන ආයෝජනය රුපියල් බිලියන 2.31ක් බවත් සමාගම පවසයි.

මෙම යෝජිත මූලික මහජන කොටස් නිකුතුවෙන් අනතුරුව රැස් කරගන්නා රුපියල් බිලියන 3.2ක මුදලින් රුපියල් මිලියන 927ක් මෙරට තුළ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් සඳහාත් රුපියල් බිලියන 1.38ක මුදලක් සූර්ය විදුලිබල ව්‍යාපෘතියක් සඳහාත් යෙදවීමට සැලසුම වී තිබේ. එසේම ඉතිරි රුපියල් මිලියන 932ක මුදල අනාගතයේ දියත් කෙරෙන ව්‍යාපෘති වෙනුවෙන් රඳවා තබා ගැනීමත් අපේක්ෂාව වී ඇත.

අද වන විට මෙම වින්ඩ්ෆෝර්ස් (පෞද්) සමාගමේ වැඩිම කොටස් හිමිකරුවා වන්නේ අක්බාර් බ්‍රදර්ස් සමාගමයි. එය ප්‍රතිශතයක් ලෙස 38.86%කි. හයිද්‍රාමනී හෝල්ඩිංග් සමාගම සතුව 27%ක කොටස් හිමිකමක් පවතී. තොරතුරු තාක්ෂණික නිෂ්පාදන සැපයීම සිදු කරන ඩිබග් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම සතුව තවත් 14.29%ක කොටස් ප්‍රතිශතයක් ඇත. ඇසුරුම් නිෂ්පාදනයේ යෙදෙන ස්ටාර් පැක් ඉන්වෙස්ට්මන්ට් සමාගම සතු කොටස් ප්‍රතිශතය 9.36%කි. මීට අමතරව MAS හෝල්ඩිංග්ස් සමාගමත් සිය පරිපාලිත සමාගමක් වන අමාලියා (පෞද්) සමාගම හරහා එහි 3.89% ක කොටස් ප්‍රතිශතයකට හිමිකම් කියයි.

මේ අතර, අදාළ යෝජිත මූලික මහජන කොටස් නිකුතුව සම්පූර්ණවීමත් සමගින්ම වින්ඩ්ෆෝර්ස් (පෞද්) සමාගම තුළ ඉහත සඳහන් කළ සමාගම් සතු කොටස් ප්‍රතිශතයන් පිළිවෙලින් 33.02%ක්, 23%ක්, 12.14%ක්, 7.95%ක් සහ 3.31%ක් ලෙස අඩුවීමට නියමිතව ඇති බවත් ඩේලිමිරර් පුවත්පත පවසයි.

අද වනවිට වින්ඩ්ෆෝර්ස් (පෞද්) සමාගම ICRA Lanka වර්ගීකරණය යටතේ AA- මට්ටමේ පවතින අතර, ඉදිරි දැක්ම ස්ථාවරව පවතී.

සීතගල ජලවිදුලි බලාගාරය ක්‍රියාත්මක කරමින් සිය මෙහෙයුම් ආරම්භ කළ වින්ඩ්ෆෝර්ස් (පෞද්) සමාගම පසුව Renewgen (පෞද්) සමාගම හරහා සිය විදුලිබලාගාර කළඹ පුළුල් කරමින් සූර්ය බල ව්‍යාපෘති සඳහාත් යොමු විය. 2020 දී Renewgen (පෞද්) සමාගම 100%ක්ම අත්පත් කරගත් වින්ඩ්ෆෝර්ස් (පෞද්) සමාගම අද වනවිට සුළං, සූර්ය සහ ජල විදුලි යන අංශ තුනම සහිත සමාගමක් බවට පත්ව තිබේ.

Visits: 1132