යූනියන් ඇෂුවරන්ස් MDRT හි විශිෂ්ටතම ජයග්‍රහණය වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් (UA) සුවිශේෂී ජයග‍්‍රහණයක් හිමි කරගනිමින් රක්ෂණ හා මූල්‍ය වෘත්තිකයින් සඳහා ඇති ලොව කීර්තිමත් සංගමය වන Million Dollar Round Table (MDRT)  සඳහා වැඩිම සුදුසුකම්ලාභීන් පිරිසක් බිහිකළ රක්ෂණ සමාගම බවට පත් වී ඇතැයි පවසයි.

Million Dollar Round Table (MDRT) යනු ලෝකයේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ හා මූල්‍ය සේවා වෘත්තිකයින්ගෙන් සමන්විත ජාත්‍යන්තර ස්වාධීන සංවිධානයක් වන අතර ලොව පුරා රටවල් 72ක ප‍්‍රමුඛ පෙළේ සමාගම් 500කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන සාමාජිකයින් 66,000ක් මෙහි සාමාජිකත්වය දරයි.

යූනියන් ඇෂුවරන්ස් හි රක්ෂණ උපදේශකයින් 172 දෙනෙකු MDRT සඳහා සුදුසුකම් ලැබූ අතර මීට ‘ටොප් ඔෆ් ද ටේබල්’ (Top of the Table) සම්මානලාභීන් පස්දෙනෙකු, ‘කෝට් ඔෆ් ද ටේබල්’ (Court of the Table) සම්මානලාභීන් දස දෙනෙකු සහ තවත් සුදුසුකම්ලාභීන් 157 දෙනෙකු ඇතුලත් වූ අතර යූනියන් ඇෂුවරන්ස් විසින් ඔවුන් ලබා ගත් මෙම සුවිශේෂී ජයග‍්‍රහණය ඇගයීමට ලක් කරන ලදී.

මෙහිදී උසස්ම MDRT ගෞරවය වන Top of the Table සම්මානලාභීන් පස්දෙනාට සුඛෝපභෝගී මර්සිඞීස් බෙන්ස් හා ටොයොටා පී‍්‍රමියෝ මෝටර් රථ සහ Court of the Table සම්මානලාභීන් දසදෙනාට සියලූ වියදම් සහිත විදෙස් සංචාර සමාගම විසින් පිරිනමන ලදී. අනෙක් MDRT ජයග‍්‍රාහකයින් සියලූ දෙනාට නවතම ඇපල් iPad ත්‍යාග වශයෙන් හිමි වූ අතර යූනියන් ඇෂුවරන්ස් පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවා අත්දැකීමක් ලබා දීමට කළ සුවිශේෂී කැපවීම වෙනුවෙන් සමාගම විසින් ඔවුන්ව විශේෂ ඇගයීමකට ලක් කරන ලදී.

සමාගම හිමිකර ගත් මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වන යුනියන් ඇෂුවරන්ස් ප‍්‍රධාන විධායක නිලධාරී ජූඞ් ගෝම්ස් මහතා ‘‘අපගේ විකුණුම් කණ්ඩායම ලබා ගත් මෙම අද්විතීය ජයග‍්‍රහණය පිළිබඳව අපට ඉතා ආඩම්බරයි. අභියෝගාත්මක තත්වයන් හමුවේ වුවද ඔවුන් විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කර තිබෙනවා. යූනියන් ඇෂුවරන්ස් හි අරමුණු සපුරාලන අතරම අපගේ වටිනාකම් හා සාරධර්ම, විශිෂ්ටත්වය, නවෝත්පාදන, විශ්වාසය, ආචාරධර්ම සහ අවංකභාවය පවත්වා ගනිමින් ඔවුන් වෘත්තියේ ඉහළටම පැමිණ තිබෙනවා.’’

‘‘MDRT සුදුසුකම්ලාභීන් වැඩිම සංඛ්‍යාවක් බිහි කර තිබෙන ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගම අප වීම නිසා මේ ජයග‍්‍රහණය අපට තවත් සුවිශේෂී වනවා. අපගේ විකුණුම් කණ්ඩායම සාර්ථකත්වයට පත් වීම තුළින් අප ව්‍යාපාරයේ සාර්ථකත්වය ද පිළිබිඹු කරන නිසා ඔවුන්ව සැමවිටම දිරිගැන්වීමට හා ඔවුන්ගේ හැකියාවන් නිරන්තරයෙන් වැඩිදියුණු කරගැනීමට උනන්දු කරවීම සඳහා අප හැකි සෑම පියවරක්ම ගනු ලබනවා.’‘

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පුහුණුව හා කුසලතා සංවර්ධනය සැමවිටම යූනියන් ඇෂුවරන්ස් සමාගමේ අලෙවි බලකායේ දියුණුවට බලපාන ප‍්‍රධානතම සාධකයක් ලෙස හැඳින්විය හැකි බවයි. පුද්ගලික සංවර්ධනයේ ඇති උසස් ප‍්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා සමාගම විසින් සෑම සේවකයෙකුගේම අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සකස් කරන ලද පුහුණු වැඩසටහන් ලබා දෙන අතර යූනියන් ඇෂුවරන්ස් සමඟ ඔවුන්ගේ ඇති බැඳීම පවත්වා ගැනීමට පුද්ගල අගය කිරීමේ වැඩසටහන් ආදිය ද ක‍්‍රියාත්මක කරනු ලබනවා යනුවෙනි.

ආචාරධර්ම සම්බන්ධ සම්මතයන් සුරකිමින් සහ විශිෂ්ට පාරිභෝගික සේවාවක් සඳහා මූලිකත්වය දෙමින් MDRT ජාලකරණය, අධ්‍යාපනය, පුද්ගලික හා වෘත්තීයමය සංවර්ධනය යනාදිය කෙරෙහි අවධානය යොමු කරයි. MDRT සාමාජිකයන් නිශ්චිත ප‍්‍රතිඵල මට්ටම් වාර්තා කිරීම ඇතුළුව සාමාජිකත්වය සම්බන්ධ නීතිරීති මාලාවක් දැඩිව අනුගමනය කළ යුතු අතර MDRT ප‍්‍රමිතීන් නිසි ලෙස ආරක්ෂා වන බව තහවුරු කරගැනීම සඳහා වාර්ෂිකව එම සාමාජිකත්වය අලූත් කරගත යුතු ය. මේ අතරින් Top of the Table මට්ටමේ සාමාජිකයින්ට ඉහළම තලයේ සාමාජිකත්ව ප‍්‍රතිලාභ සමගින් ඔවුන්ටම වෙන්වූ සුවිශේෂී පිළිගැනීමක් හිමි වේ.

යූනියන් ඇෂුවරන්ස් ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් සමූහයට අයත් සමාගමකි. ශ‍්‍රී ලංකාවේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, වසර 30 කට අධික සාර්ථක ඉතිහාසයක අභිමානය සමගින් රුපියල් බිලියන 18.2 ක වෙළෙඳපොළ ප‍්‍රාග්ධනීකරණයක්, රුපියල් බිලියන 41.3 ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ 2020 නොවැම්බර් මාසය වන විට 447% ක ප‍්‍රාග්ධන ප‍්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio – CAR) වාර්තා කරගෙන ඇත. ශ‍්‍රී ලාංකිකයන්ට තම සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ‍්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ. දිවයින පුරා විසිරුණු ශාඛා 76 ක් සහ 3,000 කට අධික ශක්තිමත් හා කාර්යක්ෂම කාර්ය මණ්ඩලයක් සමගින් යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රයේ පරිවර්තනයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින් මානව සම්පත්, සේවාවන් හා ක‍්‍රියාවලි වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩව ආයෝජනයන් සිදුකරමින් සිටී.

Visits: 55